2016/06/29

ස්වභාව ධර්මය කියා දෙන ලෝක ධර්මය


        ගොන් බැඳි කරත්තය ටොක් ටොක් හඬ දිදී ඉදිරියටම ඇදෙයි. කෙනෙකු නිදිය. කෙනෙකු බාගෙට නිදිය. තවත් අයෙක් නිදි කිරා වැටෙයි. තව ටිකක් වමට... හෝ හෝ ආයෙත් කෙලින්.... තව පොඩ්ඩක් දකුනට... ආයෙත් කෙලින් යන ආකාරයෙන් ඔහු අවසන් රාත්තලටම කිරයි. කෙනෙකු මා මෙන් ඉමක් කොනක් නැති කල්පනාවකය. ජහ්.. ජහ්... ටොක්.. එක වටයයි. ටොක්.. වට දෙකයි. හැමදාම හැමතැන දුවන සිත කරත්ත රෝදයේ කේන්ද්‍රය වටා දුවන්නට පටන් ගත්තේය. එයද එක්තරා සැනසීමකි. මන්ද සිත දුවන්නේ එක තැනක් වටාය. තැන තැන නොවේ. ටොක් ටොක් ටොක්...

සකිය සගවුවට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා

        දත් විලිස්සා මෙන් හිනා වෙන රූස්ස ගස් මගීන් හා කරත්තකරු පසු කර යයි. ඒ අතර පැළවුණු හැඬූ කඳුලෙන් බිම බලා සිටින පොඩි පොඩි පැළෑටීන් හැමදාම පොඩියටම දිස් විය. ඔවුනට ලැබෙන හිරු එළිය සලාකය රූස්ස ගස් විසින් පෙනි පෙනීම භුක්ති විඳ තව තව ඉහළට යනු දකින ඔවුන්ගේ හිත සනසවන්නට සිටියේ කුඩාම කුඩා මද සුළඟක්ම පමණි. එම සුළඟද බොහෝ දෙනෙක් භුක්ති විඳ තමන්ට ද භුක්ති විඳින ලෙස එවූ දෙයක් යැයි දැනගත් කුඩා පැළෑටිහු තමන් වැනි තවත් කෙනෙකුටද එය ඒ අයුරින්ම ලබා දීමට තම සිත අකමැත්තෙන් වුවද කැමති කර ගනියි. හැමදාම සැප රූස්ස ගස් වලට පමණි. ඉහළ අහසට සවන් යොමු කර බලන්න. එම නොඉඳුල් සුළඟෙන්ද හිරු එළියෙන්ද තවමත් සෑහීමකට පත් නොවෙන ඔවුන් තව තවත් උද්ගෝෂණ කරනු ඇසෙයි. පහළ බලන්න. පීඩිත පැළෑටීන් කිසිඳු ශබ්දයක් නොනඟයි. නමුත් ඔවුන්ගේ ශරීර වලද තවමත් ජීවය රැඳී තිබේ.

        කෙසේ වෙතත් රූස්ස ගස්, කුඩා පැළෑටි මේ සියලු දෙනාගේම දරුවන් වැනි ඵල බිමට වැටී නැවතත් වර්ධනය වීම අරඹන්නේද පොළවෙනි. මව් පියන්ගේ ආභාෂය නිසා ඔවුන් සමහරෙක් රූස්ස ගස් වෙයි. සමහරෙක් කුඩා පැළෑටි වෙයි. පුදුමයක මහත. ඔවුන් මිය යන්නේද එකම පොළවේය. ඉතින් කුඩා පැළෑටි කෑ මොර දෙන්නේ මන්ද. ඔවුන් අවසානය දැන සිටියි. ඔවුන් එම නිසා නිශ්ශබ්දව සිටියි.

වෙන ඕන දෙයක් වෙච්චාදෙන්
අහස කඩා ගෙන වැටුනාදෙන්
ගණන් ගන්න එපා ඕව සුළු දේවල්
හිනාවෙලා අපි ඔහේ ඉමු

        එක් වරම කරත්තය උඩ ගියේය. උඩ ගියාට වඩා වේගයෙන් පහළ වැටෙයි. හැමදාමත් එසේම වෙයි. ඒ තිබෙන්නේ අප නිවස අසල වියළුණු මඩ ගොහොරුවය. කරත්ත කරුවන්ට කෙසේ වෙතත් එය මා හටනම් ඉතා අගනා සම්පතකි. මන්ද මා නිවසට ළඟාවෙන විට නින්දගොස් ඇත්නම් එය ක්ෂණිකව මා හට පිහිටට ඇවිත් මා නින්දෙන් අවදි කරවයි. එම නිසා එම මඩ වල මා දේවත්වයෙන් අදහයි. මා එය එසේ ඇදහූ පමණින්ම කරත්තකරු එසේ එය අදහන්නේ යැයි සිතීම දෙවියන්ගෙන් මරණීය දණ්ඩනය පවා ලැබිය හැකි බරපතල වරදකි. මන්ද ඔහු එවිට කියන වචන දෙවියන් ඇදහීමටනම් කිසිසේත්ම සුදුසු නොවෙයි. කෙනෙකු තවත් කෙනෙකුගේ දෙවියන් වූවා කියා හැම කෙනෙකුගේම දෙවියන් නොවේ. මෙලොව හිරු අදහන මිනිසුන්, සඳු අදහන මිනිසුන්, ගස් අදහන මිනිසුන් වැනි ඇදහිලි ඕනෑ තරම් ඕනෑවටත් වඩා ඇත. උදාහරණයක් ලෙස මම මඩවලවල් දෙවියන් ලෙස අදහන්නෙක් වෙමි. මේ ගමේම සිටින කරත්තකරුවන් මඩවලවල් යක්ෂයන් සේ අදහන්නන්ය. කෙසේ වෙතත් ඉක්මනටම කරත්තයෙන් පැන්න මම හනි හනිකට ගියේ මාගේ දේවස්ථානයටය. එනම් මාගේ නිවසටය.

        නිවසට ආ විගසම ජලය බිඳක්වත් ඇඟේ ගානොගෙන වැටුනේ ඇඳටය. අද දින ඇද වැටීම සාමාන්‍යයෙන් බරපතල නිසාදෝ මුළු ඔලුවම ගැස්සුනි. නින්දක් අහලකවත් නැත. මා සනසවන්නට ඔවුන් පැමිණියාය. වහලේ පොල්අතු අතරින් මතුව රටා වියා ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වන මකුණියන්, මිහිරි හඬින් ගීත ගායනා කර සවනට ලංව “කොහොමද මගේ ගීතය?” ලස්සනදැයි අසන මැදිරියන්, මා හා හවුලේ සියල්ල බෙදා ගන්නට පැමිණෙන මාගේ බැළලිය යනු මාගේ ළඳුන්ය. මාගේ අන්තඃපුරයය. ඒ අතරින් මාගේ අගබිසව වන්නේ මාගේ බැළලියයි. මා වැඩිපුරම ආදරය සෙනෙහස දක්වන්නේ ඇයටය. මන්ද මා ඇයට බැන්නද ඇයව අගය කළද ඇය මට වෙනසක් නොපෙන්වා සෑම විටම ඤාව් කියා මාගේ ලඟින්ම සිටින නිසාය. ඇයට මම සත්‍ය වශයෙන්ම ආදරය කරමි.

        පොල් අතු අස්සෙන් ඉර එළිය සුදු පාටට ඇඳ උඩට වැටෙන දිහා මද වේලාවක් බලා උන්නෙමි. ඇස් දෙක නීලංකාර වී ඇත. ආලෝකයක් දෙස බලා එක් වරම අඳුරට පැමිණි විට එය ඕනෑම අවස්ථාවක සිදු වෙයි. යලිත් අඳුරට හුරු වීමට මද කාලයක් ගත වෙයි. එයද ලෝක ධර්මයකි. ඒ අතර මාගේ නෙත් දෙක අඩවන් උනි.

        මම මෙම පැල්පතේ ඉපදීමට වාසනා කර ඇත්තෙක්මි. වෙන අයට මෙන් නොව මා හට පරිසරය සෑම දෙයක්ම කියා දෙයි. එම නිසා මම පරිසරයට ආදරය කරමි. පරිසරයට ඇහුම් කන් දෙයි. පරිසරයේ වෙන සියුම් වෙනස්කමක් ගැන වුවද විශාල ලෙස සිතයි. එම නිසා පරිසරය මට තව තවත් දේවල් කියා දෙයි.

2016/06/27

ආලය හැර දා ගියාට කරන්නෙපා මේ විදිහට (video)


        මට මතක් වෙනව එක දවසක් එක්තරා මහාචාර්ය වරයෙක් අපේ පාසලට ඇවිත් පවත්වපු කතාවක්. ඒ කතාව සාරාංශය තමයි මුහුදෙ ඉන්නෙ එක මාළුවද කියන ප්‍රශ්නය. ඒ මහාචාර්ය තුමාට පස්සෙ පොඩි පොඩි තුන්ඩු කෑලි වල ලස්සන ලස්සන උත්තර ලැබුණ අපේ පාසලේ රෝමියෝලගෙනුයි ජුලියට්ලගෙනුයි. ඒ අතරින් ටිකක් විතර මට මතකයි.
“මුහුදෙ මාළුවන් කොච්චර හිටියත් මුහුදෙ මාළු අල්ලන්න යන්නෙ මම විතරද?”
“ඒත් කළුවර අහසට පායන්නෙ එක පුන්සඳක් නේද?”
        මහාචාර්ය තුමා ඇත්ත වෙන්නත් පුළුවන්. ළමයි ඇත්ත වෙන්නත් පුළුවන්. මමනම් හිතන්නෙ මුහුදෙ මාළුවත් පුන්සඳක්වත් ප්‍රාර්ථනා කරන්නෙ නැතුව තනියම ඉන්න එක ගොඩක් හොඳයි. මොකද දෙයක් හිමි උනොත් අනිවාරෙන්ම කවද හරි ඒ දේ අහිමි වෙනව. ඒ ධර්මය කාටවත් වෙනස් කරන්න බැහැ. ඒත් අපේ සංස්කෘතියත් එක්ක තනියම ඉන්නනම් ගොඩක් අමාරුයි.

ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන් වූ ප්‍රේමයක්
(ගායනා කළේ සුනිල් එදිරිසිංහ)

        මම මේක ලියන්න ගත්තෙ ළඟදි මම දැකපු අරාබි ජාතික ගෑණු ළමයෙක් කරන වැඩක් නිසා. ඒ ගෑණු ළමයට තිබුන පොඩ්ඩක් තව හිතන්න. එයාට ඔය තරමටම ආදරේ නැති උනහම වාවන්න බැහැ වගේම තවත් ඒ වගේම කෙනෙක්ව එයාට හම්බුනනම් කොච්චර ඒ බැඳීම ස්ථිර වෙනවද. අද කාලෙ පිරිමි ළමයි ඕන තරම් ගෑණු ළමය දාල ගියහම අත් කපා ගන්නව, පැනඩෝල් බොනව වගේ දේවල් කරනව. සමහරු මැරෙනව. එච්චර අවංකව ආදරේ කරන අය ඉන්න ලෝකෙක තමන්ව දාල ගිහින් ගාණක්වත් නැතිව ඉන්න කෙනෙක් නිසා තමන්ට විපතක් කර ගන්න එක විතරක් නෙවෙයි එයා ගැන හිතන්න කාලය වෙන් කරන එකත් ගොඩක්ම ලොකු මෝඩ කමක්. තමන් වටිනාකමක් දෙන්න ඕනෙ තමන්ට වටිනාකකමක් දෙන කෙනෙකුට විතරයි.



අහසක් තරමට කඳුළු සැලූවත්
රිදුනේ ඔහුට නොවේනම්
අහසක් තරමක සෙනෙහස ගැන ඔබ
කුමටද බැඳ අහසට ඉනිමං
(ගායනා කළේ සනත් නන්දසිරි)


        ගොඩක් පිරිමි ළමයි ඒ ගෑණු ළමයට බැනල තිබුන. ඒත් ඒ ගෑණු ළමය එහෙම කරේ මෝඩ කමකට නෙවෙයි. ඒ වෙලාවෙ එයා හිටපු තත්වෙට එයාට මොනවත් හිතාගන්න බැරි උන නිසා. පිරිමි ළමයෙක්ටනම් බාර් ගානෙ ගිහින් බීල නැත්තම් පිරිමි ළමයි සෙට් එකත් එක්ක රස්තියාදු ගහල හැම දෙයක්ම අමතක කරන්න පුළුවන්. ඒත් ගෑණු ලමයින්ට එහෙම නෙවෙයි. එයාලට එහෙම නිදහසක් නැහැ. මෙහෙම දෙයක් කාට හරි උනහම බනින්න එපා කවුරුවත්ම. මොකද එක එක්කෙනාගෙ සංවේදීතාවයන් ගොඩක් වෙනස්.

2016/06/26

පා බිඳුනද හද නොබිඳේ අම්මාගේ (video)



ළඟකදි මම දැක්ක facebook එකේ සමහර යාළුවො share කරල තියෙනව මව් සෙනෙහස උතුරන accident එකක photo ටිකක්. මම අමාරුවෙන් කොහොම හරි හොයා ගත්ත video එක.




මෙම වීඩියෝව නැරඹීමෙන් පසුව අම්මා යනු හුදෙක් අකුරු 3ක් ම නොවන බව මා හට තරයේම තහවුරු උනි. එයයි මව් සෙනෙහස. අම්මාගෙ පාදයෙන් ලේ ආවේ නැත. මන්ද අම්මාගේ ලේ කිරි වී දරුවාගේ කුස පිරෙන නිසාය. අතමිට හිඳෙන කල දරුවන් විකුණන අම්මලා සිටින සමාජයක ඔබ මතු බුදු වෙනවා මගේ අම්මේ. මනාලයෙක් නැතිනම් මනාලියක් තම ජීවන සහකරුව තෝරා ගැනීමේදී උපන් වේලාවන් සසඳන්නේ තම ජීවිතයේ ඉතුරු කාලයම ඔහු හෝ ඇයත් සමග ගත කිරීමට අවශය නිසාය. නමුත් මවක් එසේ බලන්නේද? සත්‍ය වශයෙන්ම නැත. මවක් තම දරුවා හා ජීවිත කාලයම එකට හිඳීමට දරුවා ඉපදීමටත් පෙරම සිතා සිටියි. ඇයට ගැලපීම් අනවශ්‍යය. ඇය සෑම විටම දරුවා ගැන සිතුවාය. ලෝකයාගෙන් දරුවාට එරෙහිව එකදු වචනයකුද නොනැගෙන සේ ඇය මුදල් ඉපැවූවාය. අමාරුවෙන් දුක් මහන්සියෙන් සොයා ගන්නා එම සොච්චම් මුදලෙන් පවා ඈ උත්සුක වූයේ දරුවාට රජ බොජුන් කැවීමටය. දරුවා ලොකු මහත් වනු දැක ඈ එක හිතින් සතුටු වූවාය. වයසින් වැඩෙත්ම අම්මා මදක් සැර කරන්නේද අපව ඇයට නම්මා ගෙන අනුන් ඉදිරියේ නොනැමී සිටීමට ඉගැන්වීමටය. එවන් අම්මෙකුට කවදාවත් සැරෙන් වචනයක් කීමද වරදකි. කිසි දෙයක් ඉල්ලීමද වරදකි. මන්ද ඈ සතු සියලු දේ උපරිමයෙන්  ඈ අපට දැනටමත් ලබා දී ඇති නිසාය. අම්මා විටෙක ගුරුවරියකි. විටෙක ශාස්තෘවරියකි. විටෙක දේවතාවියකි. විටෙක අප ඉල්ලන ඕනෑම දෙයක් මැවීමට හැකි මායාකාරියකි.

මුදලට විකිණුනු සුන්දර හදවත


        නෙක නෙක ළඳුන් ජීවිතයට පැමිණියා. සදාකාලිකයි, අන්තිම එක, පිවිතුරුයි, කුළුඳුල් කියා ලෙන්ගතුකම් පෑවා. පුදුමයි. සදාකාලික ඒව ලබන ආත්මෙදි හමුවෙමු කියල දාල ගිය. අන්තිම ඒව තව තවත් ඇරඹුම් හොයා ගත්ත. කුළුඳුල් ඒව වෙන අයටත් කුළුඳුල් උන. කවදාවත් ආදරයක් විශ්වාස කරන්නවත් බැරි තැනකට හිත වැටුන. ගල් කුළු වල හැප්පි හැප්පි තවමත් හිත වැටෙනවා. අවට නැවතී සිටින කිසිවක් පැහැදිලි නැහැ.  දිනක් මා පසෙකින් තවත් හිතක් පැහැදිලිව දුටුවා. මන්ද ඇයද මා මෙන්ම වැටෙන්නියක්. මා සමඟම එකම බාධක වල හැප්පී මා සමඟම එක් වරම ඉහළ යමින් මා සමගම එක් වරම පහළ යමින් ඈ හා මා වැටෙන්නේ කන්දක් මුදුනේ සිට එකම කලාවට බිමට වැටෙන ගල් දෙකක් මෙනි. එම නිසා නැවතී සිටින්නවුන්ට පෙනෙන්නේ අප අතර කිසිඳු සම්බන්ධකමක් ඇතැයි කියායි. නමුත් එසේ කිසිඳු ආකාරයකින්වත් සබඳකමක් නැත. මා දුටුවා නැවතී සිටින ජීවිත. නමුත් අල්ලා ගැනීමට තැත් කළේ නැහැ. මන්ද මා එම ජීවිත අල්ලා ගෙන නැවතීමට උත්සාහ කළහොත් එම නැවතුණු ජීවිතද මා මෙන්ම වැටීමට ඉඩ ඇති බව සිතුණු නිසාය. ඒ ලෙසම මා හඳුනාගත්තා මා පෙර කළ වැරැද්ද. එයනම් මා නැවතී සිටයදී වැටෙන ජීවිත අල්ලා ගැනීමට තැත් කිරීමයි. එයයි මා මේ ලෙසින් වැටීමට හේතුව. කුමක් කරන්නද. අතීතය ගියා. මා හට නැවතීමට තවත් නැවතුණු කෙනකුට අවදානමක් දිය යුතු නොවේ. දැන් මට හමුව ඇත්තේ මා මෙන්ම වැටෙන ජීවිතයකි. මම ඇය තදින් අල්ලා ගත්තෙමි.

        බසය නගර මධ්‍යයේ නැවතුණි. දැඩි කල්පනාවේ ගිලෙමින් සිටි මමද එයින් පැන ගත්තෙමි. ත්‍රීවිල් රථයකට ගොඩ නැගුණු මා ඇගේ ලිපිනය රියදුරුට කීවෙමි.

“මල්ලි එයාගෙ කවුරු හරිද?”

“ඔව් අයියෙ. මම බඳින්න ඉන්නෙ එයාව.”

“කිරි අප්පට බල්ලොත් බුරපි කිව්වලු.”
ඔහු සමච්චලේට මෙන් හිනාවුනි.

“ඇයි අයියේ?”

“එයා මොන වගේ කෙනෙක්ද කියල දැනගත්ත දවසට මේ අයියගෙ හිනාව තේරෙයි මල්ලී”

        එය මට ගාණක්වත් නැත. මන්ද මගේ මිතුරන් පවා ඇයගේ දුරකථන අංකය “බඩ්ඩක්. ගහගනින්” කියා මටම දුන් අවස්ථාද ඕනෑ තරම් ඇත. ඉතින් ඇයගේ ශරීරයෙන් ඕනෑ කෙනෙක් සතුටු වේවි. නමුත් ඇගේ හදවතින් සතුටු වන්නා මේ ලෝකයෙන්ම මා පමණි. මා මීට පෙර වයසට වඩා ගැහැණුන් ඇසුරු කර ඇත. කෙල්ලන් ඇසුරු කර ඇත. නමුත් එවන් ආඩම්බර කමක් මගේ හිතට නැගුණේ මැයගෙන්ම පමණි.

        දොරකඩ සිට මදක් උගුර පෑදූ මා දොරට තට්ටු කළේය. ඒ සමඟම යම්කිසි කලබයක් නිවස ඇතුලෙන් ඇසෙන්නට විය. ඉන්පසු මද වේලාවකින් දොර වියර විය. පැමිණියේ ඈ නොවේ. තලතුනා බීමත් මිනිසෙකි.

         “අයින් වෙයන් පො#&@” කියා මාගේ ඇඟේ හැපුණු එම මිනිසා සමඟ මා හට දැඩි කෝපයක් ඇතිවිය. මන්ද මාගේ පෙම්වතිය හා කාමරංගනයේද යෙදී මා කිසඳු ශබ්දයක් නොනගා සිටියදීත් ඔහු එසේ මා හට සැලකීම නිසාය. මම ඇයට පෙම් කරන නිසා ඇයව හමුවීමට එමි. නමුත් නපුංසක කමකට නොවේ. මාද ඕනෑ තරම් ළඳුන් හා ඉඳඇත්තෙක්මි. නමුත් මම ඔවුන් මෙන් ඈව මිලට නොගනිමි. මා හට පුදුමාකාර කේන්තියක් හිතට ආවේය. මා ඔහුට එවර වැරෙන් පහරක් එල්ල කළෙමි. පහර වැරදුණි. මද වේලාවක් වටපිට බැලූ ඔහුද එකෙනෙහිම අසල ඇති යකඩ බටයක් ගෙන මා හට දැඩි පහරක් එල්ල කළේය.

        එම පහර නිසා මා මියගියානම් කියා මට සිතේ. මන්ද මියගියේ මා නොවේ. ඇයට කලබලය ඇසී කඩමාල්ලක් ඇඟේ පටල ගෙන දුව ආවාය. මා හට පහර දීමට තැත් කරනවා ඈ දුටුවාය. ඈ ජීවිතය ගැන නොතකා මා බේරා ගන්නට අප දෙදෙන අතරට ආවාය. අවසානයේදී අද ඇය මා දමා ගියාය. මිනිසා පලා ගියේය.


අද ඈගෙන් කම් සැප ලැබූවන් කවුරුත් නොහඬයි. ඇගේ හදවත පමණක් දිනූ මා නැවතත් තනිවෙයි.

2016/06/24

මා විරූ පියෙකි


සෙනාලි වගේ වෙයිද?

මන් වගේ වෙයිද?

        මගේ හිතේ තිබුණු එකම ප්‍රශ්න 2 එයමය. අනේ දෙවියනේ මම වගේ නම් වෙන්න එපා. මම බිරිඳත් සමග දැනට දේවාල 20කට පමණ ගොස් භාර හාර වී තිබේ. බිරිඳගේ එකම එක පැතුම වන්නේනම් පුත්රුවණකි. ඒත් මගේ පැතුම ඊට වඩා හාත් පසින්ම වෙනස්ය. මට පුත්රුවණක් වුවද දියණියක් වුවද කිසිඳු ප්‍රශ්නයක් හිතේ නොමැත. අද උපදින කිරිකැටිය මම වගේ විරූපියෙක් නොවී සෙනාලි වගේ ලස්සන දරු පැටියෙක් උනානම් අහසෙ සිටින සියලුම දෙවියන්ට වුවද ජීවිත කාලයම කැප කිරීමට මම සූදානමින් සිටිමි. මම තවමත් වාට්ටුවේ මලකඩ කෑ යකඩ ගේට්ටුව ළඟ ආසනයකය. අත් දෙක ඔතා ගෙන කකුල් දෙක උඩ තබා ඔලුවද ඊට උඩින් තබා භෞතිකව මා හිඳගෙන සිටියද ආධ්‍යාත්මිකව සිටියේ අහස දෙස බලා අහසේ සිටින සෑම දෙවි කෙනෙකුටම වැඳ වැඳ හතරවට කැරකෙමින්ය. මම එතරම්ම දෙවියන්ගෙන් ඉදිරියේ බැගෑපත් වෙමින් සිටිමි.

        එකල මා මාගේ කාලවර්ණ රූපය හා විරූපී මුහුණ නිසා කෙතරම් පීඩා වින්දාද. සමහර වෙලාවලට මා නොකරණ සෑම වැරැද්දකටම මට සමාජයෙන් රැවුම් ගෙරවුම් ලැබුණි. කාන්දමකට ඇදී යන යකඩ කැබලි මෙන් කාඩයා, රස්තියාදුකාරයා, කුඩ්ඩා වැනි වචන මා පසු පස හඹා ආයේය. නමුත් මම ඒ කිසිදු වචනයකුදු භාර ගැනීමට සුදුස්සෙක්ද නොවෙමි. සෑම උල්පතක්ම හිඳී ගිය පසු මා හට ඉතිරිවූයේ අවසානයේ රෝද තුනක් පමණි. එයද සතියකින් මට එපා වූයේද මේ හේතුවෙනි. මට නැගිටින්නට අමාරුම අවස්ථාවක හමුවූ සෙනාලි මට සඳක්ය. විටෙක ඉරක්ය. ඇයද මුල් කාලයේ මාව ප්‍රතික්ෂේප කළ හැටිද තවම මතකයට එන විට මද සිනහවක් නැගෙයි. පසුව ඇය මට බහදුන් ආකාරය. පසුව ඇය මට දැක්වූ ඉමහත් ආදරය. මව් පිය රණ්ඩු සරුවල් මැද අප දෙදෙන ආදරෙන් ගෙවූ ජීවිතය. තවමත් හීන මෙනි.

        මම ගිය ආත්මයේ පවු කළ පළියට මාගේ දරුපැටියාද එසේ වන්නේ නැත. රත්තරන් පාටින් බැබළෙන දරුවෙක්ව සෙනාලි හුරතල් කරන හැටි තවමත් හීනෙන්ද පෙනේ. මම දිනක් සෙනාලිටද කීවෙමි. නමුත් සෙනාලිට ඒ අයුරු උවමනාවක් නැත. ඇයට අවශ්‍ය එකම දේ දරු පැටියා පුතණුවකු වීමය. ඇතුල්වීමේ දොරටුවෙන් ඇතුල්වන හා පිටවීමේ දොරටුවෙන් පිටවන කාන්තාවන් දෙස මොහොතක් බලා සිටින්නට සිතුණි. නමුත් පුරා දින දෙකක් තිස්සේ නින්දක් නොමැති නිසා සිටින ආකාරය වෙනස් කිරීමටද සිත් නොදේ. සමහරක් මව් වරුන්ගේ සිනා හඬවල්, ඉඳහිට දරුවන් උපතේදිම මිය යාම නිසා ඇතිවන දුක්බර හැඬුම් යනාදී සියල්ලක්ම උඩු සුළඟට ගසා ගෙන විත් මා සවනේද ගැටෙනු ඇසුණි. ඒ ශබ්දයන්හට මාව තව තවත් ඍණාත්මක දෙසට යොමු කිරීමට තරම් බලවත් ශක්තියක් ඇත. නමුත් මේ සියල්ලක් මැද මා මගේ සිහිනය ගැණ පමණක් සිතමින් මා පසු කර යන මිනිසුන්ගේ පාදයන්හි සෙවනැලි බල බල සිටිමි. හුස්ම ගන්නවා. පහළ හෙලනවා.. එනමුදු සිතෙහි කිසිඳු ආකාරයක එක්තැන් වීමක් දක්නට නැත. තවත් කුමක් කරන්නද. මද වේලාවක් ගෙවුණි. මාගේ දෑස් පියවෙනු මට යාම්තම් මතකය. කිසිඳු සිහිනයක්වත් නොපෙනේ.

        හතරවට ඝණ අන්ධකාරයයි. අවට මිනිසුන්ගේ ගෝෂාව සිහිනෙන් මෙන් ඇසෙයි. විනාඩි කිහිපයකට පෙර හිස මත තිබූ සියළු ප්‍රශ්න දැන් හිතට වද නොදේ. මා කුමක් සිතනවාද කියාවත් මටද නොසිතෙයි. සෑමදාම මේ ආකාරයෙන් ඉන්නට තිබුනානම්. ඒ අතරින් කුමක් හෝ ප්‍රශ්නයක් මා හට තිබුණා නේදැයි යලිත් මතක් වෙයි. යලිත් අමතක වේ. යලිත් මතක් වේ. යලිත් අමතක වේ. දැන් මා හට සිත පාලනය කළ නොහැක. සිත සිතට රිසි තැන යයි. මම ජීවත්ව සිටියදීත් ගන්ධබ්බයෙකු වී ඇත්තෙමි. මේ මාගේ ගන්ධබ්භ අවදියයි. හතරවට නෙක නෙක කටහඬවල් මෙන් ඇතින් ඇසෙන මිනිස් හඬවල් අතරින් දුරකථන ශබ්දයක්ද මා හට ඈතින් මෙන් ඇසෙයි. මිහිරි නාදයකි. මාගේ දුරකථනයේද ඇත්තේ එම නාදයමය. මදක් වේලා මම එය අසා සිටියෙමි. සිත එම දුරකථන නාදයට අනුවම නර්තනයක යෙදෙයි. හතරවට දුවමින් සිටි සිත එක්තැනකට වී නර්තනයක යෙදෙයි. ඇමතුම මද වේලාවක් නාද වීමෙන් පසුව විසන්ධි විය. නර්තනයද ඒ සමඟින් ඇරඹ ඒ සමඟින්ම නැවතුණි. එම නිසා නැවතත් මා පියවි ලෝකයට ආවේය.

       ප්‍රශ්න මතක් විය. මාගේ දරුවා සෙනාලි වගේ ලස්සන දරු පැටියෙක් වේවිද? මාගේ දුරකථනය නාද විය. කලින්ද නාද වී ඇත්තේ මගේ දුරකථනය යැයි මට ඒ මොහෙතේ මතක් විය. එය සෙනාලිගේ තනියට සිට ඇයගේ මවගෙන් ලැබෙන ඇමතුමකි. කුමක් සිදුවී ඇත්ද?

‘අම්මේ’


‘පුතේ දරුවව හම්බුන. පුතෙක්’

හෙමින් ගිය දුර


        Dance India Dance වේදිකාවට එක් වරම අවුරුදු 28ක පමණ ඉන්දියානු තරුණයෙකු අවතීර්ණ වෙයි. පුදුමාකාර වේගයෙන් නර්තනයක යෙදෙයි. මමද youtube වෙබ් අඩවිය හරහා එය නරඹමින් සිටියි. එක්වරම එම video එක slowmotion හෙවත් හෙමින් ධාවනය වීමට ඇරඹුනි. මා ඉන් පසු පහළ ඇති පාලන පුවරුවට ගොස් බැලුවේ කුමක් හෝ වෙනස් වීමක් සිදුවී ඇත්දැයි කියායි. නමුත් කිසිම වැරැද්දක් මා අතින් සිදුවී නැත. අන්තර්ජාල සම්බන්ධතාවයේද කිසිම වැරැද්දක් නොමැත. සාමාන්‍යයෙන් එසේ එම රූපවාහිනී නාලිකාවෙන් දමනවානම් මිනිසුන් දැනුවත් කරණු ලබයි. නමුත් එසේ දැනුවත් කිරීමකුද දක්නට නොමැත. එම වීඩියෝව එක්වරම හිරවෙයි. එක්වරම වේගයෙන් ධාවනය වේ. නැවතත් සෙමින් ධාවනය වේ. මා හට ඉතුරු වී තිබුණේ යම්කිසි අත්භූත බලවේගයක්වත් මගේ පරිගණකයට බාධා කරනවාදැයි සැක කිරීම පමණයි. එයද අනුවණ ක්‍රියාවකි. මන්ද යත් තාක්ෂණික භූතයන් මෙලොව නොමැති නිසාය.



        අවසානයේදී මම ඔහුගේ වෙනත් වීඩියෝවන්ද නැරඹීමි. ඒවාද එසේමය. youtube වෙබ් අඩවි පාලකයනි, අන්තර්ජාල සේවා සැපයුම් කරුවනි මට සමාවෙන්න ඔබලා හට ශාප කළාට. එය ඔබේ වරදක් නොවන්නේය. එය ඔහුගේ දක්ෂතාවමය. ඔහු නමින් Raghav Juyal වේ. ඔහු DID තරඟයට පෙනී සිටියේ croc kroax නමිනි. එම නම සෑදී ඇත්තේ කිඹුලාගේ නම හා කැරපොත්තාගේ නම මිශ්‍ර වීමෙනි. කෙසේ වෙතත් ඔහුව ලෝකයා හඳුන්වන්නෙ The Slow Motion King නමිනි. ඇත්ත වශයෙන්ම ඔහුගේ නර්තනයන් අතිවිශිෂ්ටය.

        මිනිසුන් විවිධ කලාවන් අනුකරණය කරයි. එසේ අනුකරණය කර ඔහුද කලා කාමියෙකු වීමට තැත් කරයි. කලාව යනු අනුකරණය කිරීමක් නොවෙයි. අලුත් දෙයක් සිතා වෙනසක් සිදු කිරීමයි. එවිට වෙනත් අයෙකුට සාපේක්ෂව ඔහුගේ කලාව වෙනස් වේ. එවිට ඔහු එහි කලාකාරියා වේ. තමන් සිදු කරන දෛනික ක්‍රියාවන් වුවද වෙනස් වෙනස් ආකාරයෙන් සිදු කර බලන්න. එවිට අලුත් අලුත් කලාවන් සොයා ගත හැක. කලාව යනු හුදෙක් නර්තනය, ගායනය, චිත්‍ර ඇඳීමම නොවේ. ඇවිදීමේ කලාව, අහාර ගන්නා කලාව, නිදන කලාව ආදී ඕනෑම අවස්ථාවක් කලාත්මකව කිරීමට තැත් කිරීමෙන් තමන්ගේ කලාකාරියාව තමන්ට සොයා ගත හැක.

දුවමු දුවමු නවතින්න


ඇවිදිනවා. ඇවිදිනවා. ඇවිදිනවා.
ඉවරයකුත් නැහැනෙ
මචන් මේ රස්තියාදුවේ
හවසත් වෙලා

කවුරුත් නැහැ බලන් ඉන්න
උඹලට වගේ මන් එනකන්
දොරකඩ උඩ
උඹලටනම් එහෙමද
අම්ම, තාත්ත, අඹු සැමි දරු මල්ලො

බංකුව උඩ වාඩි උනා
වැව අයිනේ පාර අයිනෙ
හැම කෙනෙකුම හතරවටේ
දුවන එකේ කෙළවරකුත් නැතුව දුවනවා
මම විතරක්
මේ බංකුවෙ
සිසිල මකනවා

වැව් තලේ හස නගන දිය රැළි
ගෙනේ නිරතුරු සිනහ කඳුලැලි

(ඇසුනත් නෑසෙන - ගුණදාස කපුගේ)

කවද හරි  හිතල බලයි
මේ බංකුවෙ
වාඩිවෙලා
මම වගේම

‘කොහේ ඉඳන් කොහේටද?’

දුවල තියෙන්නෙ
එකම දුරක්
වෙනස් වෙනස් විදිහට
ඇරඹුම එකමයි
අවසානයත් එකමයි
හැමෝම

එදාට තේරෙයි
කල් යයි
කාටවත් නැතිද වෙනසක්
උවමනාවක්
නැවතිල ඉන්න

තිබුන බෝසතුණ්ට
රහතුන්ට
සඟුන්ට

ඔව් හොයා ගත්ත
දුවන්න පැත්තක්
නැහැනෙ මට බාධාවක්
උඹලට වගේ

අද ඉඳන්
ඔව් අද ඉඳන්
නවතින්නෙ නැතුවම
දුවනවා දුවනවා

නවතින්න.

නිදහස (නි.1000/=)


        ඒ කාලෙ පරණ ගීත, අලුත් ගීත, විරහ ගීත, ආදර ගීත ඕන තරම් අහල තිබුණ. ඒත් ඒ හැමදේම මට නිකන් වචන ගොඩක්, සද්ද ගොඩක් මිශ්‍ර කරපු අච්චාරු ගොඩක් වගේ. කාලය ටිකෙන් ටික ගෙවුණ. ආදරය කරන්න පටන් ගත්ත. එතකොට දැණුන ආදර ගීත වල ඒ මිහිරි චමත්කාරජනක අර්ථය. අහල එපා උණ ආදර ගීත නැවත නැවත හොය හොය ඇහුව. එපා උනෙ නැහැ. ශබ්ද රසයට වඩා අර්ථ රසය කොච්චර වටිනවද කියල තේරුණ. කාලය ගෙවුණ. විරහ වේදනා වින්ද. ඒ කාලෙ දැණුන විරහ ගීත වල හංගපු දුක. පුදුමාකරයි. නැතිවීම වෙනස්වීම කියන සත්‍ය ධර්මයන් දැනගත්ත. හිත ධර්මයට නැඹුරු උන. ධාර්මික ගීත වලට නැඹුරු උන. හැම ගීතයකම අර්ථ රසය විඳින්න පුරුදු උන.

මා හඬවලා
හදවත සලා
පෙරදාක දෙනුවන් රතුවෙලා


        ලොතරැයි කූඩුවේ යකඩ කට බෙරිහන් දෙනව. මා හඬවලා... හදවත සලා.. ඇත්තටම එහෙම වෙනවද? හදවත කියන්නෙ හැඟීම් වලට සංවේදී වෙන ඉනිද්‍රියක්. කෙනෙක්ට අඬන්න බැරිනම් හිනාවෙන්න බැරිනම් දුක හිතෙන්නෙ නැතිනම් සතුටු හිතෙන්නෙ නැතිනම් ආදරේ දැනෙන්නෙ නැතිනම් එයාව හඳුන්වන්නෙ හදවතක් නැති මිනිහෙක් විදිහට. ඒ කියන්නෙ හදවත සංවේදී ඉන්ද්‍රියක් බවට පත් කර ගත්තෙ නැති මිනිහෙක් විදිහට. ආගන්තුකයෙක් අපේ ජීවිතේට ආවහම අපේ හදවත ආදරය කියන දේට සංවේදී වෙනව. ඒ ආදරේ නැති උනහම අපේ හදවත දුකට සංවේදී වෙනව. මනසෙන් හැමදේම වටහ ගත්තහම අපේ හදවත ධර්මයට සංවේදී වෙනව. එතනදි තමයි අපිට සම්පූර්ණම හදවත ලැබෙන්නෙ. දුක, සතුට වගේ හැමදෙයක්ම විඳින්න හැකියාව ලැබෙනව. නැත්නම් ආදරයක් නැති උනහම මිනිහෙකුගේ හදවත නැති වෙන්නෙ නැහැ. සම්පූර්ණ හදවතම ලැබෙන්නෙ ඒ වෙලාවටයි. තමන් ආදරේ කරන කෙනා දාල යයිද කියන බය නැතුව නිදහසේ ආදරේ කරන්න පුළුවන් වෙන්නෙ ඒ වෙලාවටයි. මොකද දාල ගියත් හිත හදාගන්න හයිය තියෙනව කියන විශ්වාසය අපි ළඟ අපි ගැන විශ්වාසය තියෙනව. ඒකටයි නිදහස් ආදරය කියන්නෙ. ගොඩක් අය හිතන් ඉන්නෙ ආදරේ කරල ඒ ආදරේ නැති උනහම ජීවිතේම අඬ අඬ ඉන්න වෙයි කියල. එහෙම හිතල ගොඩක් අය ආදරේ කරන්න බයයි. එයාල හිතන් ඉන්නෙ එහෙම ගොඩක් නිදහස් කියල. ඒක ගොඩක්ම වැරදියි මට හිතෙන්නෙ. ආදරය කරන්න. විරහව විඳින්න. එතකොටයි හදවතට දැනෙන්න පටන් ගන්නෙ නියම නිදහස. නිදහස විඳින්න පුළුවන් කාලෙ හදවතක් එක්ක නිදහස විඳින්න. හැඟීමෙන් නිදහස විඳින්න. 

2016/06/22

කඳුළ මම නුඹට ආදරෙයි..


බිඳුණු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආ දා..

ගිනි ගන්න ගිනි කන්දකින් ගැලුවෙ හැමදාම ගිනි රස්නෙට නටන ලාවා. ලිපේ තිබුන කේතලේ තිබුනෙත් ගින්දර වගේ රස්නෙ වතුර. ගින්නක් ළඟ තියෙන හැමදේම ගිනි ගහන්න රස්නෙයි. ඒත් අපිට අමතක උණ එකම එක දෙයක් හැර. ඒ තමයි කඳුල. කඳුළු වැටෙන්න නම් හිතක් කොයිතරම් නම් ගිණි ගන්න ඕනද? ඒත් ඒ වැටෙන වැටෙන හැම කඳුළක්ම හීතලයි. කඳුළු වැටෙන වෙලාවට එච්චර ලොකු ගින්දර ගැන හිතන්නෙ නැතුව කඳුළෙ තියෙන  පුංචි හීතල උනත් ලොකුවට විඳ විඳ අඬන අයත් මේ ලෝකෙ ඉන්නව. ඒ තමයි කඳුළ විඳින අය. කඳුළට ආදරේ කරන අය.

දැවී ගිනිගත් පෙම් සුසානේ කඳුළු මල් පිපිණා...

නින්ද යන්නෙ නැති රාත්‍රීන්, තනිවුණ හෝරාවන් වල තනිකම මකන්න ඒ අයට පෙම්වතියන් පෙම්වතුන් ඕන නැහැ. අතීතයෙන් පොදි බැඳ ගත්තු නිමාවුණ මතක ගොන්නක් එයාලගෙ හිත්වල තියෙනව. තවමත් ඒ මතක අලුත් කරන්න උත්සාහ කරනව. ඒත් අලුතෙන් ලියන්නවත් ඉවරවෙනකල් මකන්නවත් බැහැ ඒ මතකයන්. එකම බයිලෙ හැමදාම අහද්දි එපා උනත් ඒ මතකයන් කවදාවත් එහෙම එපා වෙන්නෙ නැහැ. මොකද ඒ බයිල නෙවෙයි. ඒ ආදරය වෙනුවෙන් ගායනා කරපු පහන් ගීතිකා.

නිමාවුණු සිහිවටන පමණයි දෙනෙත් දෑලේ ඉදි උනේ...

කවදාවත් ඇස් දෙකෙන්  වෙන වෙනම වැටෙන්න පටන් ගන්න කඳුළු එකට එකතු වෙල එක ඇහැකින් වැටෙනව වගේ වැටෙන්නෙ නැහැ.  කවදාවත් දෙන්නෙක් ආයෙත් හමුවුනත් ඒ අයගෙ කඳුළු එකට හමුවෙන්නෙ නැහැ. රහසෙම ඒ කඳුළු අදටත් වැටෙනව. හෙටටත්. අතීත මතකයන් ඒ හිත්වල දෝංකාර දෙනකම්ම. සදහටම. කඳුළට පෙම් කරන්න පටන් ගත්තහම වෙන කෙනෙක් ගැන ආදරයක් උපදින්නෙ නැහැ. කොහෙත්ම. කඳුළ ඒ තරම්ම ආදරණීයයි. දුක්බරයි තමයි. ඒත් ආදරණීයයි. කඳුළ විතරයි හැමදාම විරහ ගින්දර ළඟ සිසිලක් වෙල ඉන්නෙ.  කඳුළ තමයි හැමදාම දරාගන්න බැරි සතුටකදිත් අපි ළඟින්ම ඉන්නෙ. වෙනසකට තියෙන්නෙ කතා කරන්න, හැඟීම් ප්‍රකාශ කරන්න බැහැ එයාට. ඒ තමයි මේ ලෝකෙ මිනිස්සුන්ට දකින්න පුළුවන් හොඳම ගොළු ආදරවන්තයා, ආදරවන්තිය.

දුරස් වන්නේ නැහැ ඔබෙන් මා කඳුළ නුඹ නාඩන්..

බිඳුණු පෙම් හද ගිතය ගායනා කළේ ගුණදාස කපුගේ ශූරීන්

බිඳුණු පෙම් හද නිවාලන්නට කඳුළ නුඹ ආදා
අඳුර රජයන හුදකලාවෙක නුඹට පෙම් බැන්දා...

සරාගික වූ නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආදරේ..//
නිමාවුණු සිහිවටන පමණකි දෙනෙත් දෑලේ ඉදිවුණේ
කඳුළ නුඹ පිපුණා
දැවී ගිනිගත් පෙම් සුසානේ කඳුළු මල් පිපුණා...

ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනි මංසලේ..//
දිනෙක ඇය මා අමුත්තන් සේ යලිදු හමුවේවී
කඳුළ නුඹ නාඩන්

දුරස් වන්නේ නැතේ නුඹ මා කඳුළ නුඹ නාඩන්...

මහළු වෙන ආදරය

          ඇය හා ඇගේ මව මා අසල බංකුවේ අසුන්ගෙන හිඳියි. ඇගේ මව අවුරුදු 40ක පමණ කාන්තාවක්ය. වෙනදා මෙන් නොව ඇගේ දියණිය අද කිසිදු කතාවක් නොමැතිව ඇය අසල හිඳියි. මොනවා ගැන හෝ ඇගේ මව මාත් සමග කියවයි. මා හට ඒවා ඇසෙනවාද නැත්ද කියාවත් ඇයට මෙන්ම මටද එතරම් සිතුවිල්ලක් නැත. පුරුදු ලෙස මාද හ්ම්රාවය නගයි. කුමක් කීවාද? කුමක් ඇසුවාද කියා මා විනාඩියකට පසුව නැවතත් මෙනෙහි කරයි. ඇයටද මාගේ සුපෙම්වතියගේ මුහුණේ හැඩය ඇත. ඇයද කෙදිනක හෝ මේ අයුරින්ම නැවතීමේ ලකුණකුද නොමැතිව මා අසල හිඳ කතා පවත්වයිද? මේ අයුරින්ම මා හට ඇයවද එපා වී යාවිද? මාගේ හිත පුදුමාකාර කල්පනාවකය. ඔව්. එසේ වේවි. දැනටද මම ඇය හා කට වසාගෙන ඉන්න කියා අනන්ත වර කියා ඇත. කුමක් කරන්නද. මගේ හිතටද එවිට දුක නොදැනෙනවා නොවෙයි.
          මේ සිටින්නේ මාගේ පෙම්වතියත් සමග ඇගේ අනාගත ප්‍රතිරූපය නොවේද. ඇයද තරුණ කල පෙම් කර ඇත්තියක් විය හැක. ඇයද එකල තරුණයන් නෙත් සොරාගත් ඇත්තියක් විය හැක. ඇගේ ජාන වලින්ම ඉපදුණු ඇගේ දියණියද අනාගතයේ මෙසේ නොවේවියැයි වෘෂභයෙකුටද ඇත්ත වශයෙන්ම සිතිය නොහැක. තව විසි වසකින් හැමදෙයක්ම වෙනස් වේවි. ඇගේ සියුම් සමද මේ අයුරින්ම රැළි වැටේවි. ඇගේ නිලුපුල් ඇස්ද මේ අයුරින් යට ගිලී බැලීමටත් බය හිතෙන තත්වයට පත්වේවි. ඇගේ විහඟ නාදයද මේ අයුරින්ම රළු හේෂාරාවයක් වේවි. මා එකම සිතින් ඇසීමට ප්‍රිය කරන ඇගේ වදනන්ද මේ අයුරින් මට වදයක් වේවි. ඇයගේ මව සිය සැමියාට බණිනවාක් මෙන් ඇය මටද බනිණු ඇත. ඇයගේ මව හා විවාහ වූ පසු ඇගේ පියා නන්නත්ථාර වූ ලෙසම මාද නන්නත්ථාර වෙයි. මේ දකින්නේ මගේම අනාගතය නොවේද. මට දැන්ම ඇයගෙන් නික්ම යා නොහැකිද? ඇයගේ පියා දුක් විඳින ලෙස මාද අනාගතයේ දුක් විඳියි. මට දැන්ම මෙයින් නික්ම යාමට හැකිද? මේ බියකරු සසරෙන්? බැහැ. මම ඇයගේ දැඩි බන්ධනයට දැනටමත් හසුවී අවසන්. මා දැනටමත් බියකරු අනාගතයකට බැඳී අවසන්. බාල කාලේ මා ඇයත් සමග ගෙතූ සුන්දර කතාවද මේ මා ඉදිරිපිට පෙනෙන කාන්තාවගේ කතාව? අපේ කතාව මීට වඩා වෙනස් වෙයිද? හිත තවමත් පිස්සෙකුගේ මෙන් ප්‍රශ්න කරයි.

නුඹ මෙයින් යා යුතුය
එහෙත් මට ඔබ අතැර යා නොහැක
                  (ප්‍රබුද්ධ - මහගම සේකර)


ඔවුන් දෙදෙන මගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් මා දෙස බලා සිටියි. මා දුටුවේද දැන්ය. ඈ ඇසූ ප්‍රශ්නය කුමක්ද? මා නැවතත් කල්පනා කරන්නට පටන් ගත්තෙමි. 

2016/06/21

ආදර සබඳතාවක් අවසන් වූ විගස හිත හදාගමු

        මේ ලෝකෙ ඇත්ත ආදරය හැමදාම පරදිනව. කලාතුරකින් දිනනව. ඒත් ඇත්තටම වැදගත් වෙන්නෙ අපි ඒ ජය පැරදුමෙන් කොහොමද හිත හදාගෙන තවත් ඉස්සරහට යන්නෙ කියන එකයි. ඔයාගෙ ජීවිතෙන් යන අයට යන්න දෙන්න. ඒ අයව ලං කරගන්නවත් එපා. ඔයාගෙ ජීවිතේට ගොඩාක් ලොකු වටිනාකමක් දෙන අයත් එක්ක විතරක් ජීවිතේ බෙදාගන්න. ආදරය කියන්නෙ ගෙෳරවනීය දෙයක්. දාල යන කෙනෙක්ව බලෙන් තියා ගන්නවත් දාල ගිය කෙනෙක් ගැන හිත හිත දුක් වෙන්නවත් එපා. එතකොට ඔයාගෙ ආදරයේ ගෙෳරවය නැති වෙනව.
      ගොඩක්ම අයට තියෙන ප්‍රශ්නය තමයි එයත් එක්ක බෙදා ගත්තු දේවල් කවුරු එක්කද බෙදා ගන්නෙ කියන එක. එයාගෙන් මකා ගත්තු පාළුව තනිකම කොහොමද මකා ගන්නෙ කියන එකයි. ඔයාගෙ දිනපොත ඔයාගෙ පෙම්වතා පෙම්වතිය කරගන්න. ඔයාගෙ හිතට එන හැඟීම්, සිතුවිලි හැමදෙයක්ම ලියන්න. කිසිම දෙයක් නොලිය ඉන්න එපා. එයා නිසා ඔයා දුක් වෙන් විදිහ, ඒ දවසෙ සතුටු හිතෙන දෙයක් උනානම් ඒක ගැන, ඒ හැම දේකින්ම ඔයා ඉගෙන ගත්තු දේවල් මේ හැමදෙයක්ම ඒකෙ ලියන්න. කාලයක් යද්දි ඔයාට තේරෙයි එයා ගැන දුක්වෙල ඒකෙ ඔයා ලියන්නෙ එකම දේවල් කියල. ඔයාටම ඒ දුක ලියන එක එපා වෙයි. ඉට පස්සෙ ඔයා පුරුදු වෙයි එදිනෙදා දේවල් විතරක් ලියන්න.
        මේ කාලයේදී ඔයා හිතන්න ඕන ඔයා ආශුය කරන යාළුවො ගැන. එයයි ඔයයි දෙන්නගෙම සම්බන්දය දන්න අයගෙන් ඔයා ඈත් වෙල ඉන්න. සමහර අය කරන්නෙ හිත සැහැල්ලු කරගන්න කියල ඒ අයත් එක්ක හැමදෙයක්ම කියල ඒ අයට ගොඩක් ලං වෙන එක. ඒත් ඔයා කරන්නෙ තුවාලයක් නැවත නැවත යාළුවොත් එක්ක එකතු වෙල අතගාන එක. එතකොට ඒ තුවලය කවදාවත් හොඳ වෙන්නෙ නැහැ. කාලයත් එක්ක හොඳ වෙන්න දෙන්න.
         එයා ගැන අලුත් ආරංචි ලැබෙන හැම දේකින්ම ඈත් වෙන්න. එයා facebook, twitter වගේ සමාජ ජාලා වල ඉන්නවනම් එයාව block කරල දාන්න. එයාගෙ number එක දුරකථන සමාගමට කියල block කරන්න. එතකොට එයාටවත් ඔයාටවත් සම්බන්ධ වෙන්න බෑ. blacklist දැම්මට සමහර වෙලාවට ඔයාට පුළුවන් එයාට mzg කරන්න. එතකොට ආයෙත් පරණ මතක අලුත් වෙනව.
         සෙෳන්දර්යාත්මක දේවල් වලට හිත යවන්න. සින්දු කියන්න, නටන්න චිත්‍ර අඳින්න. නැත්නම් යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යන්න. නිතරම සතුටින් ඉන්න උත්සාහ කරන්න. ඔයාගෙ phone එකේ පරණ music albums සේරම delete කරල අලුත් music albums දාගන්න. මේව තෝර ගන්නකොට ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන දුක හිතෙන සින්දු තෝර නොගන්න. ලංකාවෙ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේක. මොකද ලංකාවෙ බහුතරයක්ම තියෙන්නෙ විරහ ගීත. ඔයාට හොඳ ගීත හොයා ගන්නම බැරිනම් youtube, dailymotion වගේ websites වල comedy videos බලන්න පුරුදු වෙන්න. සති 2ක් විතර යද්දි ඔයාට පරණ දේවල් වලින් ලැබුණු දුක, පාළුව නැතිවෙල යයි.
          ඒ වගේම කවදාවත් පරණ ආදරෙන් දුක් විඳින ගමන් තවත් කෙනෙකුට ආදරේ කරන්න යන්න එපා. එතකොට ඔයාට පරණ දුක අලුත් වෙවී දැනෙයි. කරන්න ඕන හොඳම දේ හිත රවට්ටන එක නෙවෙයි. හිත හදාගන්න එක. ඒ විිදිහට ආදරයක් පටන් ගත්තනම් ඔයා කලින් කෙනත් එක්ක ගිය තැන් වලට අලුත් කෙනත් එක්ක යන්න එපා. පරණ කෙනාට කියපු දේවල් අලුත් කෙනාට කියන්න යන්න එපා. එයත් එක්ක පරණ දුක බෙදාගන්න එපා. එහෙම උනොත් ඔයාට අලුත් කෙනාගෙනුත් කලින් දේවල් මතක් වෙයි.
             අතීතය කියන දේ අපිට ආයෙත් ගන්න බැහැ. අතීතය කියන්නෙ දුකක්නම් ඒ දුකෙන් පුළුවන් තරම් ඈත් වෙන්න. එතකොටයි සතුට හම්බෙන්නෙ. ඔයාට ඇත්තටම ආදරේ කරන කෙනෙක්නම් ඔයාගෙන් මොන වැරැද්දක් උනත් එයා කොච්චර වැරදි උනත් කවදාවත් දාල යන්නෙ නැහැ. ඒ වැරදි හදා ගන්න ඔයාට උදවු කරයි. ආදරයයි ආසාවයි කියන්නෙ දෙකක්. ඒ විදිහට දාල යන්නෙ ආදරය කරන අය නෙවෙයි. ආස කරන අයයි. ඔයාව දාල ගිය කෙනා නිසා ඔයා දුක් උන තරමටත් වඩා සතුටු වෙයි ඔයාට ගැලපෙන කෙනාව ලැබුනහම. 

වෙහෙසුනු සිත


මූණක් කියල දෙයක් මටත් තිබ්බ තමයි.
මම ඒත් ඒකෙන්
ඇඬුවෙ නෑ
හිනාවුනෙ නෑ
කතා කරේ නෑ

අත් කියල දෙකක්ම මටත් තිබ්බ තමයි.
ඒත් ඒවයින් මම
වැඩ කරේ නෑ
ගහගත්තෙ නෑ
දන්දුන්නෙ නෑ

කකුල් කියල දෙකකුත් මට තිබුන
මම ඒවයින්
උඩ පැන්නෙ නැහැ
ඇවිද්දෙ නැහැ
දිව්වෙ නැහැ

හිතක් කියල දෙයක් මට තිබ්බ
මම අර සේරම කරේ ඒකෙන් නිසා
මගෙ හිත ගොඩක්ම මහන්සි උන
දැන් හිත මහළු වෙල
ඒත් මම තාම තරුණයි
නියමුවා
නියමුවාගේ |සිත | ප්‍රබන්ධ | උපදෙස් | කවි | ගවේෂණ