2016/06/26

මුදලට විකිණුනු සුන්දර හදවත


        නෙක නෙක ළඳුන් ජීවිතයට පැමිණියා. සදාකාලිකයි, අන්තිම එක, පිවිතුරුයි, කුළුඳුල් කියා ලෙන්ගතුකම් පෑවා. පුදුමයි. සදාකාලික ඒව ලබන ආත්මෙදි හමුවෙමු කියල දාල ගිය. අන්තිම ඒව තව තවත් ඇරඹුම් හොයා ගත්ත. කුළුඳුල් ඒව වෙන අයටත් කුළුඳුල් උන. කවදාවත් ආදරයක් විශ්වාස කරන්නවත් බැරි තැනකට හිත වැටුන. ගල් කුළු වල හැප්පි හැප්පි තවමත් හිත වැටෙනවා. අවට නැවතී සිටින කිසිවක් පැහැදිලි නැහැ.  දිනක් මා පසෙකින් තවත් හිතක් පැහැදිලිව දුටුවා. මන්ද ඇයද මා මෙන්ම වැටෙන්නියක්. මා සමඟම එකම බාධක වල හැප්පී මා සමඟම එක් වරම ඉහළ යමින් මා සමගම එක් වරම පහළ යමින් ඈ හා මා වැටෙන්නේ කන්දක් මුදුනේ සිට එකම කලාවට බිමට වැටෙන ගල් දෙකක් මෙනි. එම නිසා නැවතී සිටින්නවුන්ට පෙනෙන්නේ අප අතර කිසිඳු සම්බන්ධකමක් ඇතැයි කියායි. නමුත් එසේ කිසිඳු ආකාරයකින්වත් සබඳකමක් නැත. මා දුටුවා නැවතී සිටින ජීවිත. නමුත් අල්ලා ගැනීමට තැත් කළේ නැහැ. මන්ද මා එම ජීවිත අල්ලා ගෙන නැවතීමට උත්සාහ කළහොත් එම නැවතුණු ජීවිතද මා මෙන්ම වැටීමට ඉඩ ඇති බව සිතුණු නිසාය. ඒ ලෙසම මා හඳුනාගත්තා මා පෙර කළ වැරැද්ද. එයනම් මා නැවතී සිටයදී වැටෙන ජීවිත අල්ලා ගැනීමට තැත් කිරීමයි. එයයි මා මේ ලෙසින් වැටීමට හේතුව. කුමක් කරන්නද. අතීතය ගියා. මා හට නැවතීමට තවත් නැවතුණු කෙනකුට අවදානමක් දිය යුතු නොවේ. දැන් මට හමුව ඇත්තේ මා මෙන්ම වැටෙන ජීවිතයකි. මම ඇය තදින් අල්ලා ගත්තෙමි.

        බසය නගර මධ්‍යයේ නැවතුණි. දැඩි කල්පනාවේ ගිලෙමින් සිටි මමද එයින් පැන ගත්තෙමි. ත්‍රීවිල් රථයකට ගොඩ නැගුණු මා ඇගේ ලිපිනය රියදුරුට කීවෙමි.

“මල්ලි එයාගෙ කවුරු හරිද?”

“ඔව් අයියෙ. මම බඳින්න ඉන්නෙ එයාව.”

“කිරි අප්පට බල්ලොත් බුරපි කිව්වලු.”
ඔහු සමච්චලේට මෙන් හිනාවුනි.

“ඇයි අයියේ?”

“එයා මොන වගේ කෙනෙක්ද කියල දැනගත්ත දවසට මේ අයියගෙ හිනාව තේරෙයි මල්ලී”

        එය මට ගාණක්වත් නැත. මන්ද මගේ මිතුරන් පවා ඇයගේ දුරකථන අංකය “බඩ්ඩක්. ගහගනින්” කියා මටම දුන් අවස්ථාද ඕනෑ තරම් ඇත. ඉතින් ඇයගේ ශරීරයෙන් ඕනෑ කෙනෙක් සතුටු වේවි. නමුත් ඇගේ හදවතින් සතුටු වන්නා මේ ලෝකයෙන්ම මා පමණි. මා මීට පෙර වයසට වඩා ගැහැණුන් ඇසුරු කර ඇත. කෙල්ලන් ඇසුරු කර ඇත. නමුත් එවන් ආඩම්බර කමක් මගේ හිතට නැගුණේ මැයගෙන්ම පමණි.

        දොරකඩ සිට මදක් උගුර පෑදූ මා දොරට තට්ටු කළේය. ඒ සමඟම යම්කිසි කලබයක් නිවස ඇතුලෙන් ඇසෙන්නට විය. ඉන්පසු මද වේලාවකින් දොර වියර විය. පැමිණියේ ඈ නොවේ. තලතුනා බීමත් මිනිසෙකි.

         “අයින් වෙයන් පො#&@” කියා මාගේ ඇඟේ හැපුණු එම මිනිසා සමඟ මා හට දැඩි කෝපයක් ඇතිවිය. මන්ද මාගේ පෙම්වතිය හා කාමරංගනයේද යෙදී මා කිසඳු ශබ්දයක් නොනගා සිටියදීත් ඔහු එසේ මා හට සැලකීම නිසාය. මම ඇයට පෙම් කරන නිසා ඇයව හමුවීමට එමි. නමුත් නපුංසක කමකට නොවේ. මාද ඕනෑ තරම් ළඳුන් හා ඉඳඇත්තෙක්මි. නමුත් මම ඔවුන් මෙන් ඈව මිලට නොගනිමි. මා හට පුදුමාකාර කේන්තියක් හිතට ආවේය. මා ඔහුට එවර වැරෙන් පහරක් එල්ල කළෙමි. පහර වැරදුණි. මද වේලාවක් වටපිට බැලූ ඔහුද එකෙනෙහිම අසල ඇති යකඩ බටයක් ගෙන මා හට දැඩි පහරක් එල්ල කළේය.

        එම පහර නිසා මා මියගියානම් කියා මට සිතේ. මන්ද මියගියේ මා නොවේ. ඇයට කලබලය ඇසී කඩමාල්ලක් ඇඟේ පටල ගෙන දුව ආවාය. මා හට පහර දීමට තැත් කරනවා ඈ දුටුවාය. ඈ ජීවිතය ගැන නොතකා මා බේරා ගන්නට අප දෙදෙන අතරට ආවාය. අවසානයේදී අද ඇය මා දමා ගියාය. මිනිසා පලා ගියේය.


අද ඈගෙන් කම් සැප ලැබූවන් කවුරුත් නොහඬයි. ඇගේ හදවත පමණක් දිනූ මා නැවතත් තනිවෙයි.

No comments:

නියමුවා
නියමුවාගේ |සිත | ප්‍රබන්ධ | උපදෙස් | කවි | ගවේෂණ