2016/06/22

මහළු වෙන ආදරය

          ඇය හා ඇගේ මව මා අසල බංකුවේ අසුන්ගෙන හිඳියි. ඇගේ මව අවුරුදු 40ක පමණ කාන්තාවක්ය. වෙනදා මෙන් නොව ඇගේ දියණිය අද කිසිදු කතාවක් නොමැතිව ඇය අසල හිඳියි. මොනවා ගැන හෝ ඇගේ මව මාත් සමග කියවයි. මා හට ඒවා ඇසෙනවාද නැත්ද කියාවත් ඇයට මෙන්ම මටද එතරම් සිතුවිල්ලක් නැත. පුරුදු ලෙස මාද හ්ම්රාවය නගයි. කුමක් කීවාද? කුමක් ඇසුවාද කියා මා විනාඩියකට පසුව නැවතත් මෙනෙහි කරයි. ඇයටද මාගේ සුපෙම්වතියගේ මුහුණේ හැඩය ඇත. ඇයද කෙදිනක හෝ මේ අයුරින්ම නැවතීමේ ලකුණකුද නොමැතිව මා අසල හිඳ කතා පවත්වයිද? මේ අයුරින්ම මා හට ඇයවද එපා වී යාවිද? මාගේ හිත පුදුමාකාර කල්පනාවකය. ඔව්. එසේ වේවි. දැනටද මම ඇය හා කට වසාගෙන ඉන්න කියා අනන්ත වර කියා ඇත. කුමක් කරන්නද. මගේ හිතටද එවිට දුක නොදැනෙනවා නොවෙයි.
          මේ සිටින්නේ මාගේ පෙම්වතියත් සමග ඇගේ අනාගත ප්‍රතිරූපය නොවේද. ඇයද තරුණ කල පෙම් කර ඇත්තියක් විය හැක. ඇයද එකල තරුණයන් නෙත් සොරාගත් ඇත්තියක් විය හැක. ඇගේ ජාන වලින්ම ඉපදුණු ඇගේ දියණියද අනාගතයේ මෙසේ නොවේවියැයි වෘෂභයෙකුටද ඇත්ත වශයෙන්ම සිතිය නොහැක. තව විසි වසකින් හැමදෙයක්ම වෙනස් වේවි. ඇගේ සියුම් සමද මේ අයුරින්ම රැළි වැටේවි. ඇගේ නිලුපුල් ඇස්ද මේ අයුරින් යට ගිලී බැලීමටත් බය හිතෙන තත්වයට පත්වේවි. ඇගේ විහඟ නාදයද මේ අයුරින්ම රළු හේෂාරාවයක් වේවි. මා එකම සිතින් ඇසීමට ප්‍රිය කරන ඇගේ වදනන්ද මේ අයුරින් මට වදයක් වේවි. ඇයගේ මව සිය සැමියාට බණිනවාක් මෙන් ඇය මටද බනිණු ඇත. ඇයගේ මව හා විවාහ වූ පසු ඇගේ පියා නන්නත්ථාර වූ ලෙසම මාද නන්නත්ථාර වෙයි. මේ දකින්නේ මගේම අනාගතය නොවේද. මට දැන්ම ඇයගෙන් නික්ම යා නොහැකිද? ඇයගේ පියා දුක් විඳින ලෙස මාද අනාගතයේ දුක් විඳියි. මට දැන්ම මෙයින් නික්ම යාමට හැකිද? මේ බියකරු සසරෙන්? බැහැ. මම ඇයගේ දැඩි බන්ධනයට දැනටමත් හසුවී අවසන්. මා දැනටමත් බියකරු අනාගතයකට බැඳී අවසන්. බාල කාලේ මා ඇයත් සමග ගෙතූ සුන්දර කතාවද මේ මා ඉදිරිපිට පෙනෙන කාන්තාවගේ කතාව? අපේ කතාව මීට වඩා වෙනස් වෙයිද? හිත තවමත් පිස්සෙකුගේ මෙන් ප්‍රශ්න කරයි.

නුඹ මෙයින් යා යුතුය
එහෙත් මට ඔබ අතැර යා නොහැක
                  (ප්‍රබුද්ධ - මහගම සේකර)


ඔවුන් දෙදෙන මගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් මා දෙස බලා සිටියි. මා දුටුවේද දැන්ය. ඈ ඇසූ ප්‍රශ්නය කුමක්ද? මා නැවතත් කල්පනා කරන්නට පටන් ගත්තෙමි. 

No comments:

නියමුවා
නියමුවාගේ |සිත | ප්‍රබන්ධ | උපදෙස් | කවි | ගවේෂණ