2016/06/24

මා විරූ පියෙකි


සෙනාලි වගේ වෙයිද?

මන් වගේ වෙයිද?

        මගේ හිතේ තිබුණු එකම ප්‍රශ්න 2 එයමය. අනේ දෙවියනේ මම වගේ නම් වෙන්න එපා. මම බිරිඳත් සමග දැනට දේවාල 20කට පමණ ගොස් භාර හාර වී තිබේ. බිරිඳගේ එකම එක පැතුම වන්නේනම් පුත්රුවණකි. ඒත් මගේ පැතුම ඊට වඩා හාත් පසින්ම වෙනස්ය. මට පුත්රුවණක් වුවද දියණියක් වුවද කිසිඳු ප්‍රශ්නයක් හිතේ නොමැත. අද උපදින කිරිකැටිය මම වගේ විරූපියෙක් නොවී සෙනාලි වගේ ලස්සන දරු පැටියෙක් උනානම් අහසෙ සිටින සියලුම දෙවියන්ට වුවද ජීවිත කාලයම කැප කිරීමට මම සූදානමින් සිටිමි. මම තවමත් වාට්ටුවේ මලකඩ කෑ යකඩ ගේට්ටුව ළඟ ආසනයකය. අත් දෙක ඔතා ගෙන කකුල් දෙක උඩ තබා ඔලුවද ඊට උඩින් තබා භෞතිකව මා හිඳගෙන සිටියද ආධ්‍යාත්මිකව සිටියේ අහස දෙස බලා අහසේ සිටින සෑම දෙවි කෙනෙකුටම වැඳ වැඳ හතරවට කැරකෙමින්ය. මම එතරම්ම දෙවියන්ගෙන් ඉදිරියේ බැගෑපත් වෙමින් සිටිමි.

        එකල මා මාගේ කාලවර්ණ රූපය හා විරූපී මුහුණ නිසා කෙතරම් පීඩා වින්දාද. සමහර වෙලාවලට මා නොකරණ සෑම වැරැද්දකටම මට සමාජයෙන් රැවුම් ගෙරවුම් ලැබුණි. කාන්දමකට ඇදී යන යකඩ කැබලි මෙන් කාඩයා, රස්තියාදුකාරයා, කුඩ්ඩා වැනි වචන මා පසු පස හඹා ආයේය. නමුත් මම ඒ කිසිදු වචනයකුදු භාර ගැනීමට සුදුස්සෙක්ද නොවෙමි. සෑම උල්පතක්ම හිඳී ගිය පසු මා හට ඉතිරිවූයේ අවසානයේ රෝද තුනක් පමණි. එයද සතියකින් මට එපා වූයේද මේ හේතුවෙනි. මට නැගිටින්නට අමාරුම අවස්ථාවක හමුවූ සෙනාලි මට සඳක්ය. විටෙක ඉරක්ය. ඇයද මුල් කාලයේ මාව ප්‍රතික්ෂේප කළ හැටිද තවම මතකයට එන විට මද සිනහවක් නැගෙයි. පසුව ඇය මට බහදුන් ආකාරය. පසුව ඇය මට දැක්වූ ඉමහත් ආදරය. මව් පිය රණ්ඩු සරුවල් මැද අප දෙදෙන ආදරෙන් ගෙවූ ජීවිතය. තවමත් හීන මෙනි.

        මම ගිය ආත්මයේ පවු කළ පළියට මාගේ දරුපැටියාද එසේ වන්නේ නැත. රත්තරන් පාටින් බැබළෙන දරුවෙක්ව සෙනාලි හුරතල් කරන හැටි තවමත් හීනෙන්ද පෙනේ. මම දිනක් සෙනාලිටද කීවෙමි. නමුත් සෙනාලිට ඒ අයුරු උවමනාවක් නැත. ඇයට අවශ්‍ය එකම දේ දරු පැටියා පුතණුවකු වීමය. ඇතුල්වීමේ දොරටුවෙන් ඇතුල්වන හා පිටවීමේ දොරටුවෙන් පිටවන කාන්තාවන් දෙස මොහොතක් බලා සිටින්නට සිතුණි. නමුත් පුරා දින දෙකක් තිස්සේ නින්දක් නොමැති නිසා සිටින ආකාරය වෙනස් කිරීමටද සිත් නොදේ. සමහරක් මව් වරුන්ගේ සිනා හඬවල්, ඉඳහිට දරුවන් උපතේදිම මිය යාම නිසා ඇතිවන දුක්බර හැඬුම් යනාදී සියල්ලක්ම උඩු සුළඟට ගසා ගෙන විත් මා සවනේද ගැටෙනු ඇසුණි. ඒ ශබ්දයන්හට මාව තව තවත් ඍණාත්මක දෙසට යොමු කිරීමට තරම් බලවත් ශක්තියක් ඇත. නමුත් මේ සියල්ලක් මැද මා මගේ සිහිනය ගැණ පමණක් සිතමින් මා පසු කර යන මිනිසුන්ගේ පාදයන්හි සෙවනැලි බල බල සිටිමි. හුස්ම ගන්නවා. පහළ හෙලනවා.. එනමුදු සිතෙහි කිසිඳු ආකාරයක එක්තැන් වීමක් දක්නට නැත. තවත් කුමක් කරන්නද. මද වේලාවක් ගෙවුණි. මාගේ දෑස් පියවෙනු මට යාම්තම් මතකය. කිසිඳු සිහිනයක්වත් නොපෙනේ.

        හතරවට ඝණ අන්ධකාරයයි. අවට මිනිසුන්ගේ ගෝෂාව සිහිනෙන් මෙන් ඇසෙයි. විනාඩි කිහිපයකට පෙර හිස මත තිබූ සියළු ප්‍රශ්න දැන් හිතට වද නොදේ. මා කුමක් සිතනවාද කියාවත් මටද නොසිතෙයි. සෑමදාම මේ ආකාරයෙන් ඉන්නට තිබුනානම්. ඒ අතරින් කුමක් හෝ ප්‍රශ්නයක් මා හට තිබුණා නේදැයි යලිත් මතක් වෙයි. යලිත් අමතක වේ. යලිත් මතක් වේ. යලිත් අමතක වේ. දැන් මා හට සිත පාලනය කළ නොහැක. සිත සිතට රිසි තැන යයි. මම ජීවත්ව සිටියදීත් ගන්ධබ්බයෙකු වී ඇත්තෙමි. මේ මාගේ ගන්ධබ්භ අවදියයි. හතරවට නෙක නෙක කටහඬවල් මෙන් ඇතින් ඇසෙන මිනිස් හඬවල් අතරින් දුරකථන ශබ්දයක්ද මා හට ඈතින් මෙන් ඇසෙයි. මිහිරි නාදයකි. මාගේ දුරකථනයේද ඇත්තේ එම නාදයමය. මදක් වේලා මම එය අසා සිටියෙමි. සිත එම දුරකථන නාදයට අනුවම නර්තනයක යෙදෙයි. හතරවට දුවමින් සිටි සිත එක්තැනකට වී නර්තනයක යෙදෙයි. ඇමතුම මද වේලාවක් නාද වීමෙන් පසුව විසන්ධි විය. නර්තනයද ඒ සමඟින් ඇරඹ ඒ සමඟින්ම නැවතුණි. එම නිසා නැවතත් මා පියවි ලෝකයට ආවේය.

       ප්‍රශ්න මතක් විය. මාගේ දරුවා සෙනාලි වගේ ලස්සන දරු පැටියෙක් වේවිද? මාගේ දුරකථනය නාද විය. කලින්ද නාද වී ඇත්තේ මගේ දුරකථනය යැයි මට ඒ මොහෙතේ මතක් විය. එය සෙනාලිගේ තනියට සිට ඇයගේ මවගෙන් ලැබෙන ඇමතුමකි. කුමක් සිදුවී ඇත්ද?

‘අම්මේ’


‘පුතේ දරුවව හම්බුන. පුතෙක්’

No comments:

නියමුවා
නියමුවාගේ |සිත | ප්‍රබන්ධ | උපදෙස් | කවි | ගවේෂණ