2016/06/29

ස්වභාව ධර්මය කියා දෙන ලෝක ධර්මය


        ගොන් බැඳි කරත්තය ටොක් ටොක් හඬ දිදී ඉදිරියටම ඇදෙයි. කෙනෙකු නිදිය. කෙනෙකු බාගෙට නිදිය. තවත් අයෙක් නිදි කිරා වැටෙයි. තව ටිකක් වමට... හෝ හෝ ආයෙත් කෙලින්.... තව පොඩ්ඩක් දකුනට... ආයෙත් කෙලින් යන ආකාරයෙන් ඔහු අවසන් රාත්තලටම කිරයි. කෙනෙකු මා මෙන් ඉමක් කොනක් නැති කල්පනාවකය. ජහ්.. ජහ්... ටොක්.. එක වටයයි. ටොක්.. වට දෙකයි. හැමදාම හැමතැන දුවන සිත කරත්ත රෝදයේ කේන්ද්‍රය වටා දුවන්නට පටන් ගත්තේය. එයද එක්තරා සැනසීමකි. මන්ද සිත දුවන්නේ එක තැනක් වටාය. තැන තැන නොවේ. ටොක් ටොක් ටොක්...

සකිය සගවුවට රෝදය කැරකෙනවා
සසඳ සසඳ අපි මහපාරේ යනවා

        දත් විලිස්සා මෙන් හිනා වෙන රූස්ස ගස් මගීන් හා කරත්තකරු පසු කර යයි. ඒ අතර පැළවුණු හැඬූ කඳුලෙන් බිම බලා සිටින පොඩි පොඩි පැළෑටීන් හැමදාම පොඩියටම දිස් විය. ඔවුනට ලැබෙන හිරු එළිය සලාකය රූස්ස ගස් විසින් පෙනි පෙනීම භුක්ති විඳ තව තව ඉහළට යනු දකින ඔවුන්ගේ හිත සනසවන්නට සිටියේ කුඩාම කුඩා මද සුළඟක්ම පමණි. එම සුළඟද බොහෝ දෙනෙක් භුක්ති විඳ තමන්ට ද භුක්ති විඳින ලෙස එවූ දෙයක් යැයි දැනගත් කුඩා පැළෑටිහු තමන් වැනි තවත් කෙනෙකුටද එය ඒ අයුරින්ම ලබා දීමට තම සිත අකමැත්තෙන් වුවද කැමති කර ගනියි. හැමදාම සැප රූස්ස ගස් වලට පමණි. ඉහළ අහසට සවන් යොමු කර බලන්න. එම නොඉඳුල් සුළඟෙන්ද හිරු එළියෙන්ද තවමත් සෑහීමකට පත් නොවෙන ඔවුන් තව තවත් උද්ගෝෂණ කරනු ඇසෙයි. පහළ බලන්න. පීඩිත පැළෑටීන් කිසිඳු ශබ්දයක් නොනඟයි. නමුත් ඔවුන්ගේ ශරීර වලද තවමත් ජීවය රැඳී තිබේ.

        කෙසේ වෙතත් රූස්ස ගස්, කුඩා පැළෑටි මේ සියලු දෙනාගේම දරුවන් වැනි ඵල බිමට වැටී නැවතත් වර්ධනය වීම අරඹන්නේද පොළවෙනි. මව් පියන්ගේ ආභාෂය නිසා ඔවුන් සමහරෙක් රූස්ස ගස් වෙයි. සමහරෙක් කුඩා පැළෑටි වෙයි. පුදුමයක මහත. ඔවුන් මිය යන්නේද එකම පොළවේය. ඉතින් කුඩා පැළෑටි කෑ මොර දෙන්නේ මන්ද. ඔවුන් අවසානය දැන සිටියි. ඔවුන් එම නිසා නිශ්ශබ්දව සිටියි.

වෙන ඕන දෙයක් වෙච්චාදෙන්
අහස කඩා ගෙන වැටුනාදෙන්
ගණන් ගන්න එපා ඕව සුළු දේවල්
හිනාවෙලා අපි ඔහේ ඉමු

        එක් වරම කරත්තය උඩ ගියේය. උඩ ගියාට වඩා වේගයෙන් පහළ වැටෙයි. හැමදාමත් එසේම වෙයි. ඒ තිබෙන්නේ අප නිවස අසල වියළුණු මඩ ගොහොරුවය. කරත්ත කරුවන්ට කෙසේ වෙතත් එය මා හටනම් ඉතා අගනා සම්පතකි. මන්ද මා නිවසට ළඟාවෙන විට නින්දගොස් ඇත්නම් එය ක්ෂණිකව මා හට පිහිටට ඇවිත් මා නින්දෙන් අවදි කරවයි. එම නිසා එම මඩ වල මා දේවත්වයෙන් අදහයි. මා එය එසේ ඇදහූ පමණින්ම කරත්තකරු එසේ එය අදහන්නේ යැයි සිතීම දෙවියන්ගෙන් මරණීය දණ්ඩනය පවා ලැබිය හැකි බරපතල වරදකි. මන්ද ඔහු එවිට කියන වචන දෙවියන් ඇදහීමටනම් කිසිසේත්ම සුදුසු නොවෙයි. කෙනෙකු තවත් කෙනෙකුගේ දෙවියන් වූවා කියා හැම කෙනෙකුගේම දෙවියන් නොවේ. මෙලොව හිරු අදහන මිනිසුන්, සඳු අදහන මිනිසුන්, ගස් අදහන මිනිසුන් වැනි ඇදහිලි ඕනෑ තරම් ඕනෑවටත් වඩා ඇත. උදාහරණයක් ලෙස මම මඩවලවල් දෙවියන් ලෙස අදහන්නෙක් වෙමි. මේ ගමේම සිටින කරත්තකරුවන් මඩවලවල් යක්ෂයන් සේ අදහන්නන්ය. කෙසේ වෙතත් ඉක්මනටම කරත්තයෙන් පැන්න මම හනි හනිකට ගියේ මාගේ දේවස්ථානයටය. එනම් මාගේ නිවසටය.

        නිවසට ආ විගසම ජලය බිඳක්වත් ඇඟේ ගානොගෙන වැටුනේ ඇඳටය. අද දින ඇද වැටීම සාමාන්‍යයෙන් බරපතල නිසාදෝ මුළු ඔලුවම ගැස්සුනි. නින්දක් අහලකවත් නැත. මා සනසවන්නට ඔවුන් පැමිණියාය. වහලේ පොල්අතු අතරින් මතුව රටා වියා ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වන මකුණියන්, මිහිරි හඬින් ගීත ගායනා කර සවනට ලංව “කොහොමද මගේ ගීතය?” ලස්සනදැයි අසන මැදිරියන්, මා හා හවුලේ සියල්ල බෙදා ගන්නට පැමිණෙන මාගේ බැළලිය යනු මාගේ ළඳුන්ය. මාගේ අන්තඃපුරයය. ඒ අතරින් මාගේ අගබිසව වන්නේ මාගේ බැළලියයි. මා වැඩිපුරම ආදරය සෙනෙහස දක්වන්නේ ඇයටය. මන්ද මා ඇයට බැන්නද ඇයව අගය කළද ඇය මට වෙනසක් නොපෙන්වා සෑම විටම ඤාව් කියා මාගේ ලඟින්ම සිටින නිසාය. ඇයට මම සත්‍ය වශයෙන්ම ආදරය කරමි.

        පොල් අතු අස්සෙන් ඉර එළිය සුදු පාටට ඇඳ උඩට වැටෙන දිහා මද වේලාවක් බලා උන්නෙමි. ඇස් දෙක නීලංකාර වී ඇත. ආලෝකයක් දෙස බලා එක් වරම අඳුරට පැමිණි විට එය ඕනෑම අවස්ථාවක සිදු වෙයි. යලිත් අඳුරට හුරු වීමට මද කාලයක් ගත වෙයි. එයද ලෝක ධර්මයකි. ඒ අතර මාගේ නෙත් දෙක අඩවන් උනි.

        මම මෙම පැල්පතේ ඉපදීමට වාසනා කර ඇත්තෙක්මි. වෙන අයට මෙන් නොව මා හට පරිසරය සෑම දෙයක්ම කියා දෙයි. එම නිසා මම පරිසරයට ආදරය කරමි. පරිසරයට ඇහුම් කන් දෙයි. පරිසරයේ වෙන සියුම් වෙනස්කමක් ගැන වුවද විශාල ලෙස සිතයි. එම නිසා පරිසරය මට තව තවත් දේවල් කියා දෙයි.

2016/06/27

ආලය හැර දා ගියාට කරන්නෙපා මේ විදිහට (video)


        මට මතක් වෙනව එක දවසක් එක්තරා මහාචාර්ය වරයෙක් අපේ පාසලට ඇවිත් පවත්වපු කතාවක්. ඒ කතාව සාරාංශය තමයි මුහුදෙ ඉන්නෙ එක මාළුවද කියන ප්‍රශ්නය. ඒ මහාචාර්ය තුමාට පස්සෙ පොඩි පොඩි තුන්ඩු කෑලි වල ලස්සන ලස්සන උත්තර ලැබුණ අපේ පාසලේ රෝමියෝලගෙනුයි ජුලියට්ලගෙනුයි. ඒ අතරින් ටිකක් විතර මට මතකයි.
“මුහුදෙ මාළුවන් කොච්චර හිටියත් මුහුදෙ මාළු අල්ලන්න යන්නෙ මම විතරද?”
“ඒත් කළුවර අහසට පායන්නෙ එක පුන්සඳක් නේද?”
        මහාචාර්ය තුමා ඇත්ත වෙන්නත් පුළුවන්. ළමයි ඇත්ත වෙන්නත් පුළුවන්. මමනම් හිතන්නෙ මුහුදෙ මාළුවත් පුන්සඳක්වත් ප්‍රාර්ථනා කරන්නෙ නැතුව තනියම ඉන්න එක ගොඩක් හොඳයි. මොකද දෙයක් හිමි උනොත් අනිවාරෙන්ම කවද හරි ඒ දේ අහිමි වෙනව. ඒ ධර්මය කාටවත් වෙනස් කරන්න බැහැ. ඒත් අපේ සංස්කෘතියත් එක්ක තනියම ඉන්නනම් ගොඩක් අමාරුයි.

ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන් වූ ප්‍රේමයක්
(ගායනා කළේ සුනිල් එදිරිසිංහ)

        මම මේක ලියන්න ගත්තෙ ළඟදි මම දැකපු අරාබි ජාතික ගෑණු ළමයෙක් කරන වැඩක් නිසා. ඒ ගෑණු ළමයට තිබුන පොඩ්ඩක් තව හිතන්න. එයාට ඔය තරමටම ආදරේ නැති උනහම වාවන්න බැහැ වගේම තවත් ඒ වගේම කෙනෙක්ව එයාට හම්බුනනම් කොච්චර ඒ බැඳීම ස්ථිර වෙනවද. අද කාලෙ පිරිමි ළමයි ඕන තරම් ගෑණු ළමය දාල ගියහම අත් කපා ගන්නව, පැනඩෝල් බොනව වගේ දේවල් කරනව. සමහරු මැරෙනව. එච්චර අවංකව ආදරේ කරන අය ඉන්න ලෝකෙක තමන්ව දාල ගිහින් ගාණක්වත් නැතිව ඉන්න කෙනෙක් නිසා තමන්ට විපතක් කර ගන්න එක විතරක් නෙවෙයි එයා ගැන හිතන්න කාලය වෙන් කරන එකත් ගොඩක්ම ලොකු මෝඩ කමක්. තමන් වටිනාකමක් දෙන්න ඕනෙ තමන්ට වටිනාකකමක් දෙන කෙනෙකුට විතරයි.



අහසක් තරමට කඳුළු සැලූවත්
රිදුනේ ඔහුට නොවේනම්
අහසක් තරමක සෙනෙහස ගැන ඔබ
කුමටද බැඳ අහසට ඉනිමං
(ගායනා කළේ සනත් නන්දසිරි)


        ගොඩක් පිරිමි ළමයි ඒ ගෑණු ළමයට බැනල තිබුන. ඒත් ඒ ගෑණු ළමය එහෙම කරේ මෝඩ කමකට නෙවෙයි. ඒ වෙලාවෙ එයා හිටපු තත්වෙට එයාට මොනවත් හිතාගන්න බැරි උන නිසා. පිරිමි ළමයෙක්ටනම් බාර් ගානෙ ගිහින් බීල නැත්තම් පිරිමි ළමයි සෙට් එකත් එක්ක රස්තියාදු ගහල හැම දෙයක්ම අමතක කරන්න පුළුවන්. ඒත් ගෑණු ලමයින්ට එහෙම නෙවෙයි. එයාලට එහෙම නිදහසක් නැහැ. මෙහෙම දෙයක් කාට හරි උනහම බනින්න එපා කවුරුවත්ම. මොකද එක එක්කෙනාගෙ සංවේදීතාවයන් ගොඩක් වෙනස්.

2016/06/26

පා බිඳුනද හද නොබිඳේ අම්මාගේ (video)



ළඟකදි මම දැක්ක facebook එකේ සමහර යාළුවො share කරල තියෙනව මව් සෙනෙහස උතුරන accident එකක photo ටිකක්. මම අමාරුවෙන් කොහොම හරි හොයා ගත්ත video එක.




මෙම වීඩියෝව නැරඹීමෙන් පසුව අම්මා යනු හුදෙක් අකුරු 3ක් ම නොවන බව මා හට තරයේම තහවුරු උනි. එයයි මව් සෙනෙහස. අම්මාගෙ පාදයෙන් ලේ ආවේ නැත. මන්ද අම්මාගේ ලේ කිරි වී දරුවාගේ කුස පිරෙන නිසාය. අතමිට හිඳෙන කල දරුවන් විකුණන අම්මලා සිටින සමාජයක ඔබ මතු බුදු වෙනවා මගේ අම්මේ. මනාලයෙක් නැතිනම් මනාලියක් තම ජීවන සහකරුව තෝරා ගැනීමේදී උපන් වේලාවන් සසඳන්නේ තම ජීවිතයේ ඉතුරු කාලයම ඔහු හෝ ඇයත් සමග ගත කිරීමට අවශය නිසාය. නමුත් මවක් එසේ බලන්නේද? සත්‍ය වශයෙන්ම නැත. මවක් තම දරුවා හා ජීවිත කාලයම එකට හිඳීමට දරුවා ඉපදීමටත් පෙරම සිතා සිටියි. ඇයට ගැලපීම් අනවශ්‍යය. ඇය සෑම විටම දරුවා ගැන සිතුවාය. ලෝකයාගෙන් දරුවාට එරෙහිව එකදු වචනයකුද නොනැගෙන සේ ඇය මුදල් ඉපැවූවාය. අමාරුවෙන් දුක් මහන්සියෙන් සොයා ගන්නා එම සොච්චම් මුදලෙන් පවා ඈ උත්සුක වූයේ දරුවාට රජ බොජුන් කැවීමටය. දරුවා ලොකු මහත් වනු දැක ඈ එක හිතින් සතුටු වූවාය. වයසින් වැඩෙත්ම අම්මා මදක් සැර කරන්නේද අපව ඇයට නම්මා ගෙන අනුන් ඉදිරියේ නොනැමී සිටීමට ඉගැන්වීමටය. එවන් අම්මෙකුට කවදාවත් සැරෙන් වචනයක් කීමද වරදකි. කිසි දෙයක් ඉල්ලීමද වරදකි. මන්ද ඈ සතු සියලු දේ උපරිමයෙන්  ඈ අපට දැනටමත් ලබා දී ඇති නිසාය. අම්මා විටෙක ගුරුවරියකි. විටෙක ශාස්තෘවරියකි. විටෙක දේවතාවියකි. විටෙක අප ඉල්ලන ඕනෑම දෙයක් මැවීමට හැකි මායාකාරියකි.

මුදලට විකිණුනු සුන්දර හදවත


        නෙක නෙක ළඳුන් ජීවිතයට පැමිණියා. සදාකාලිකයි, අන්තිම එක, පිවිතුරුයි, කුළුඳුල් කියා ලෙන්ගතුකම් පෑවා. පුදුමයි. සදාකාලික ඒව ලබන ආත්මෙදි හමුවෙමු කියල දාල ගිය. අන්තිම ඒව තව තවත් ඇරඹුම් හොයා ගත්ත. කුළුඳුල් ඒව වෙන අයටත් කුළුඳුල් උන. කවදාවත් ආදරයක් විශ්වාස කරන්නවත් බැරි තැනකට හිත වැටුන. ගල් කුළු වල හැප්පි හැප්පි තවමත් හිත වැටෙනවා. අවට නැවතී සිටින කිසිවක් පැහැදිලි නැහැ.  දිනක් මා පසෙකින් තවත් හිතක් පැහැදිලිව දුටුවා. මන්ද ඇයද මා මෙන්ම වැටෙන්නියක්. මා සමඟම එකම බාධක වල හැප්පී මා සමඟම එක් වරම ඉහළ යමින් මා සමගම එක් වරම පහළ යමින් ඈ හා මා වැටෙන්නේ කන්දක් මුදුනේ සිට එකම කලාවට බිමට වැටෙන ගල් දෙකක් මෙනි. එම නිසා නැවතී සිටින්නවුන්ට පෙනෙන්නේ අප අතර කිසිඳු සම්බන්ධකමක් ඇතැයි කියායි. නමුත් එසේ කිසිඳු ආකාරයකින්වත් සබඳකමක් නැත. මා දුටුවා නැවතී සිටින ජීවිත. නමුත් අල්ලා ගැනීමට තැත් කළේ නැහැ. මන්ද මා එම ජීවිත අල්ලා ගෙන නැවතීමට උත්සාහ කළහොත් එම නැවතුණු ජීවිතද මා මෙන්ම වැටීමට ඉඩ ඇති බව සිතුණු නිසාය. ඒ ලෙසම මා හඳුනාගත්තා මා පෙර කළ වැරැද්ද. එයනම් මා නැවතී සිටයදී වැටෙන ජීවිත අල්ලා ගැනීමට තැත් කිරීමයි. එයයි මා මේ ලෙසින් වැටීමට හේතුව. කුමක් කරන්නද. අතීතය ගියා. මා හට නැවතීමට තවත් නැවතුණු කෙනකුට අවදානමක් දිය යුතු නොවේ. දැන් මට හමුව ඇත්තේ මා මෙන්ම වැටෙන ජීවිතයකි. මම ඇය තදින් අල්ලා ගත්තෙමි.

        බසය නගර මධ්‍යයේ නැවතුණි. දැඩි කල්පනාවේ ගිලෙමින් සිටි මමද එයින් පැන ගත්තෙමි. ත්‍රීවිල් රථයකට ගොඩ නැගුණු මා ඇගේ ලිපිනය රියදුරුට කීවෙමි.

“මල්ලි එයාගෙ කවුරු හරිද?”

“ඔව් අයියෙ. මම බඳින්න ඉන්නෙ එයාව.”

“කිරි අප්පට බල්ලොත් බුරපි කිව්වලු.”
ඔහු සමච්චලේට මෙන් හිනාවුනි.

“ඇයි අයියේ?”

“එයා මොන වගේ කෙනෙක්ද කියල දැනගත්ත දවසට මේ අයියගෙ හිනාව තේරෙයි මල්ලී”

        එය මට ගාණක්වත් නැත. මන්ද මගේ මිතුරන් පවා ඇයගේ දුරකථන අංකය “බඩ්ඩක්. ගහගනින්” කියා මටම දුන් අවස්ථාද ඕනෑ තරම් ඇත. ඉතින් ඇයගේ ශරීරයෙන් ඕනෑ කෙනෙක් සතුටු වේවි. නමුත් ඇගේ හදවතින් සතුටු වන්නා මේ ලෝකයෙන්ම මා පමණි. මා මීට පෙර වයසට වඩා ගැහැණුන් ඇසුරු කර ඇත. කෙල්ලන් ඇසුරු කර ඇත. නමුත් එවන් ආඩම්බර කමක් මගේ හිතට නැගුණේ මැයගෙන්ම පමණි.

        දොරකඩ සිට මදක් උගුර පෑදූ මා දොරට තට්ටු කළේය. ඒ සමඟම යම්කිසි කලබයක් නිවස ඇතුලෙන් ඇසෙන්නට විය. ඉන්පසු මද වේලාවකින් දොර වියර විය. පැමිණියේ ඈ නොවේ. තලතුනා බීමත් මිනිසෙකි.

         “අයින් වෙයන් පො#&@” කියා මාගේ ඇඟේ හැපුණු එම මිනිසා සමඟ මා හට දැඩි කෝපයක් ඇතිවිය. මන්ද මාගේ පෙම්වතිය හා කාමරංගනයේද යෙදී මා කිසඳු ශබ්දයක් නොනගා සිටියදීත් ඔහු එසේ මා හට සැලකීම නිසාය. මම ඇයට පෙම් කරන නිසා ඇයව හමුවීමට එමි. නමුත් නපුංසක කමකට නොවේ. මාද ඕනෑ තරම් ළඳුන් හා ඉඳඇත්තෙක්මි. නමුත් මම ඔවුන් මෙන් ඈව මිලට නොගනිමි. මා හට පුදුමාකාර කේන්තියක් හිතට ආවේය. මා ඔහුට එවර වැරෙන් පහරක් එල්ල කළෙමි. පහර වැරදුණි. මද වේලාවක් වටපිට බැලූ ඔහුද එකෙනෙහිම අසල ඇති යකඩ බටයක් ගෙන මා හට දැඩි පහරක් එල්ල කළේය.

        එම පහර නිසා මා මියගියානම් කියා මට සිතේ. මන්ද මියගියේ මා නොවේ. ඇයට කලබලය ඇසී කඩමාල්ලක් ඇඟේ පටල ගෙන දුව ආවාය. මා හට පහර දීමට තැත් කරනවා ඈ දුටුවාය. ඈ ජීවිතය ගැන නොතකා මා බේරා ගන්නට අප දෙදෙන අතරට ආවාය. අවසානයේදී අද ඇය මා දමා ගියාය. මිනිසා පලා ගියේය.


අද ඈගෙන් කම් සැප ලැබූවන් කවුරුත් නොහඬයි. ඇගේ හදවත පමණක් දිනූ මා නැවතත් තනිවෙයි.

2016/06/24

මා විරූ පියෙකි


සෙනාලි වගේ වෙයිද?

මන් වගේ වෙයිද?

        මගේ හිතේ තිබුණු එකම ප්‍රශ්න 2 එයමය. අනේ දෙවියනේ මම වගේ නම් වෙන්න එපා. මම බිරිඳත් සමග දැනට දේවාල 20කට පමණ ගොස් භාර හාර වී තිබේ. බිරිඳගේ එකම එක පැතුම වන්නේනම් පුත්රුවණකි. ඒත් මගේ පැතුම ඊට වඩා හාත් පසින්ම වෙනස්ය. මට පුත්රුවණක් වුවද දියණියක් වුවද කිසිඳු ප්‍රශ්නයක් හිතේ නොමැත. අද උපදින කිරිකැටිය මම වගේ විරූපියෙක් නොවී සෙනාලි වගේ ලස්සන දරු පැටියෙක් උනානම් අහසෙ සිටින සියලුම දෙවියන්ට වුවද ජීවිත කාලයම කැප කිරීමට මම සූදානමින් සිටිමි. මම තවමත් වාට්ටුවේ මලකඩ කෑ යකඩ ගේට්ටුව ළඟ ආසනයකය. අත් දෙක ඔතා ගෙන කකුල් දෙක උඩ තබා ඔලුවද ඊට උඩින් තබා භෞතිකව මා හිඳගෙන සිටියද ආධ්‍යාත්මිකව සිටියේ අහස දෙස බලා අහසේ සිටින සෑම දෙවි කෙනෙකුටම වැඳ වැඳ හතරවට කැරකෙමින්ය. මම එතරම්ම දෙවියන්ගෙන් ඉදිරියේ බැගෑපත් වෙමින් සිටිමි.

        එකල මා මාගේ කාලවර්ණ රූපය හා විරූපී මුහුණ නිසා කෙතරම් පීඩා වින්දාද. සමහර වෙලාවලට මා නොකරණ සෑම වැරැද්දකටම මට සමාජයෙන් රැවුම් ගෙරවුම් ලැබුණි. කාන්දමකට ඇදී යන යකඩ කැබලි මෙන් කාඩයා, රස්තියාදුකාරයා, කුඩ්ඩා වැනි වචන මා පසු පස හඹා ආයේය. නමුත් මම ඒ කිසිදු වචනයකුදු භාර ගැනීමට සුදුස්සෙක්ද නොවෙමි. සෑම උල්පතක්ම හිඳී ගිය පසු මා හට ඉතිරිවූයේ අවසානයේ රෝද තුනක් පමණි. එයද සතියකින් මට එපා වූයේද මේ හේතුවෙනි. මට නැගිටින්නට අමාරුම අවස්ථාවක හමුවූ සෙනාලි මට සඳක්ය. විටෙක ඉරක්ය. ඇයද මුල් කාලයේ මාව ප්‍රතික්ෂේප කළ හැටිද තවම මතකයට එන විට මද සිනහවක් නැගෙයි. පසුව ඇය මට බහදුන් ආකාරය. පසුව ඇය මට දැක්වූ ඉමහත් ආදරය. මව් පිය රණ්ඩු සරුවල් මැද අප දෙදෙන ආදරෙන් ගෙවූ ජීවිතය. තවමත් හීන මෙනි.

        මම ගිය ආත්මයේ පවු කළ පළියට මාගේ දරුපැටියාද එසේ වන්නේ නැත. රත්තරන් පාටින් බැබළෙන දරුවෙක්ව සෙනාලි හුරතල් කරන හැටි තවමත් හීනෙන්ද පෙනේ. මම දිනක් සෙනාලිටද කීවෙමි. නමුත් සෙනාලිට ඒ අයුරු උවමනාවක් නැත. ඇයට අවශ්‍ය එකම දේ දරු පැටියා පුතණුවකු වීමය. ඇතුල්වීමේ දොරටුවෙන් ඇතුල්වන හා පිටවීමේ දොරටුවෙන් පිටවන කාන්තාවන් දෙස මොහොතක් බලා සිටින්නට සිතුණි. නමුත් පුරා දින දෙකක් තිස්සේ නින්දක් නොමැති නිසා සිටින ආකාරය වෙනස් කිරීමටද සිත් නොදේ. සමහරක් මව් වරුන්ගේ සිනා හඬවල්, ඉඳහිට දරුවන් උපතේදිම මිය යාම නිසා ඇතිවන දුක්බර හැඬුම් යනාදී සියල්ලක්ම උඩු සුළඟට ගසා ගෙන විත් මා සවනේද ගැටෙනු ඇසුණි. ඒ ශබ්දයන්හට මාව තව තවත් ඍණාත්මක දෙසට යොමු කිරීමට තරම් බලවත් ශක්තියක් ඇත. නමුත් මේ සියල්ලක් මැද මා මගේ සිහිනය ගැණ පමණක් සිතමින් මා පසු කර යන මිනිසුන්ගේ පාදයන්හි සෙවනැලි බල බල සිටිමි. හුස්ම ගන්නවා. පහළ හෙලනවා.. එනමුදු සිතෙහි කිසිඳු ආකාරයක එක්තැන් වීමක් දක්නට නැත. තවත් කුමක් කරන්නද. මද වේලාවක් ගෙවුණි. මාගේ දෑස් පියවෙනු මට යාම්තම් මතකය. කිසිඳු සිහිනයක්වත් නොපෙනේ.

        හතරවට ඝණ අන්ධකාරයයි. අවට මිනිසුන්ගේ ගෝෂාව සිහිනෙන් මෙන් ඇසෙයි. විනාඩි කිහිපයකට පෙර හිස මත තිබූ සියළු ප්‍රශ්න දැන් හිතට වද නොදේ. මා කුමක් සිතනවාද කියාවත් මටද නොසිතෙයි. සෑමදාම මේ ආකාරයෙන් ඉන්නට තිබුනානම්. ඒ අතරින් කුමක් හෝ ප්‍රශ්නයක් මා හට තිබුණා නේදැයි යලිත් මතක් වෙයි. යලිත් අමතක වේ. යලිත් මතක් වේ. යලිත් අමතක වේ. දැන් මා හට සිත පාලනය කළ නොහැක. සිත සිතට රිසි තැන යයි. මම ජීවත්ව සිටියදීත් ගන්ධබ්බයෙකු වී ඇත්තෙමි. මේ මාගේ ගන්ධබ්භ අවදියයි. හතරවට නෙක නෙක කටහඬවල් මෙන් ඇතින් ඇසෙන මිනිස් හඬවල් අතරින් දුරකථන ශබ්දයක්ද මා හට ඈතින් මෙන් ඇසෙයි. මිහිරි නාදයකි. මාගේ දුරකථනයේද ඇත්තේ එම නාදයමය. මදක් වේලා මම එය අසා සිටියෙමි. සිත එම දුරකථන නාදයට අනුවම නර්තනයක යෙදෙයි. හතරවට දුවමින් සිටි සිත එක්තැනකට වී නර්තනයක යෙදෙයි. ඇමතුම මද වේලාවක් නාද වීමෙන් පසුව විසන්ධි විය. නර්තනයද ඒ සමඟින් ඇරඹ ඒ සමඟින්ම නැවතුණි. එම නිසා නැවතත් මා පියවි ලෝකයට ආවේය.

       ප්‍රශ්න මතක් විය. මාගේ දරුවා සෙනාලි වගේ ලස්සන දරු පැටියෙක් වේවිද? මාගේ දුරකථනය නාද විය. කලින්ද නාද වී ඇත්තේ මගේ දුරකථනය යැයි මට ඒ මොහෙතේ මතක් විය. එය සෙනාලිගේ තනියට සිට ඇයගේ මවගෙන් ලැබෙන ඇමතුමකි. කුමක් සිදුවී ඇත්ද?

‘අම්මේ’


‘පුතේ දරුවව හම්බුන. පුතෙක්’
නියමුවා
නියමුවාගේ |සිත | ප්‍රබන්ධ | උපදෙස් | කවි | ගවේෂණ